මේක කවුරුත් නොදන්නා රහසක්, හැබැයි මේ රහස කවදා හරි හෙළි කරන්න ඕනෑ කියලා මගේ හිත කිව්වා. “රිද්ම” කාටවත් නොකී රහසක් තුළින් මේ ගැන හෙළි කරන්න ලැබුණු එකත් මට ලැබුණු වාසනාවක් කියලා හිතෙනවා.
මෙන්න මේකයි රහස මටම ආවේණික වචන කීපයක් තුළින් මම මගේ හැගීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ගැන මම තවත් ටිකක් පැහැදිලි කරන්නම්. “බුදු අම්මෝ” “මගේ දෙයියෝ” “බුදු සන්තෝ” වගේ වචන අපි කොයි කවුරුත් පාවිච්චි කරනවනේ.
අවස්ථා යෙදෙන හැටියට තමයි එක් එක් අය ඒ වචන පාවිච්චි කරන්නේ. මමත් මේ වචන පාවිච්චි කරනවා. හැබැයි ඒක අනිත් අයට වඩා ගොඩාක් වෙනස් ඒ කියන්නේ මගේ කේන්තිය පිට කරන උපරිම අවස්ථාවකදී තමයි මම මේ වචන පාවිච්චි කරන්නේ.
ඕනැම කෙනෙකුට තමන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම ඒ ගැන සුහදව සාකච්ජා කරනවානේ. ඒ විදියට ප්රශ්නය විසදා ගන්න බැරි නම් නේ සැරෙන් අදහස් හුවමාරුකරගන්නෙ. ඔය විදියට තදින් තරහ ගිය අවස්ථාවකදී උස් හඩින් අසභ්‍ය වචනත් යොදාගෙන “එකිනෙකා බැණ ගන්නා එකනේ කරන්නේ.” අන්න ඒ අවස්ථාවේදී තමයි මම අර මුලින් සදහන් කළ වචන පාවිච්චි කරන්නේ. කොටින්ම කියනවා නම් අසභය වචන නියෝජනය කරන්න මම යොදාගන්නේ “බුදු අම්මෝ” “බුදු දෙයියෝ” වගේ වචන, ඒ වචන වලින් කෙනෙක් මෙල්ල කරන්නේ කොහොමද කියලා පාඨක පිරිසට හිතෙන්න පුළුවන්. මම ඒ වචන ප්‍රකාශ කරන්නේත් කෝපය පිරුණු උස් හඩින්. ඒ හින්දමද දන්නේ නැහැ මගේ වචනවලට අනිත් පාර්ශ්වයත් නිශ්ශබ්ද වෙනවා.
ඒ වගේ සිදුවීම් වලට මුහුණු පෑ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තියෙනවා. පෞද්ගලික ජීවිතයේදී වගේම, කලා ජීවිතයේදීත් ඔය වගේ අවස්ථාවලට මුහුණදීලා තියෙනවා. කලා ජීවිතයේදී දවසක හරි අපූරු සිදුවීමක් වුණා. එය සිදුවුණේ ටෙලි නාට්‍යයකද චිත්රපටයකද කියලා නම් කියන්න බැහැ. හැබැයි මේක සිදුවුණේ එක්තරා ප්‍රේම ජවනිකාවක් රූගත කරද්දී. සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවල වැළද ගන්න සිප ගන්න පවා සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ඉතින් අධ්යක්ෂවරයා කට් කිව්වට පස්සේ ඉන් එහාට අපි කවුරුත් යන්නේ නැහැ. දැන් ඔන්න මේ නිර්මාණයෙත් අදාළ ප්‍රේම ජවනිකාව රූගත කෙරුණා. අදාළ නළුවා හා මම ඉතා සාර්ථකව ජවනිකාවට පෙනී සිටියා. අධ්‍යක්ෂකවරයා “කට්” කිව්ව හැටියේ මම රඟපෑම නතර කළා. ඒත් අදාළ නළුවාට ඒක අමතකයි. ඔහු දිගටම මාව අල්ලගෙන සිප ගන්නවා. ඒ වේලාවේ මට ටිකක් කේන්ති ගියා. “බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” කියලා මම මහා හයියෙන් කෑ ගැහුවා. එතකොට ඒ නළුවා වහාම මගේ මිදුනා. ඒ නළුවට වගේම එතැන හිටපු හැමෝටමත් ඒ වෙලාවේ මගේ වෙනස තේරුණා.
ඔය වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මගේ මේ වචන මාලාව කෝපය පිට කරන වදන් පෙළක් කියලා දන්නේ නැහැනේ අනිත් අය. ඒ නිසා ඒ වචනවලින් නොනවතින අයත් ඉන්නවා. ඒ වෙලාවට ඉන් එහා වචන පවිච්චි කරන්න පවා සිදුවනවා. ඒවා අසභ්‍ය වචන වෙන්නත් බැරි නැහැ.
ඒ වගේ සිදුවීම් අතර ප්‍රබල එකක් තමයි මේ. එදත් මම එක්තරා නිර්මණයක රූගත කිරීම් වලට ගියා. එහි අධ්‍යක්ෂකවරයා මම ගරු කළ කෙනෙක්. ඒත් ඔහු අනවශ්‍ය විදියට මගේ සිරුර මතු කරන්න හදන බව මට වැටහුණා. සාරියක් ඇන්දත් බඩ පේන්න අදින්නමයි කියන්නේ. මට තේරුණා කතාවේ චරිතය අනුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මේක හිතා මතා කරන දෙයක් බවත් මට තේරුණා. මේ කියන අධ්‍යක්ෂකවරයාට ඔය ගැන කීප වතාවක් හොදින් පැහැදිලි කරලා බැරි තැන මගේ සුපුරුදු වචන මාලාවට ආවා. “බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම ඉන්න අවශ්‍ය නෑ…… මට ඒක බෑ” කියලා උස් හඩින් කියන්න පටන් ගත්තා. ඒත් ඔහු නවතින් පාටක් නෑ. එදත් මගේ සිරුර අනිසි විදියට මතු කරවන්න ඔහුට වුවමනා වුණා. පුරුදු වචන යොදලා මම ඊට විරුද්ධ වුණා.
“ඩෙනිම් ඇදලා ඔක්කොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙච්චර අමාරු….”
දර්ශන තලයේ හිටපු තිහප් හතළිහක් පමණ පිරිස ඉදිරියේ ඔහු කිව්වේ හැමෝටම ඇහෙන්නයි. ඒ වෙද්දී මගේ ඉවසීමේ සීමාවත් පැනලයි තිබුණේ. මමත් මහ හඩින් හොදම වචන කියලා ඔහුට උත්තර දුන්නා. හොද වෙලාවට ඔහු ඉංග්‍රීසි දන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම මහ හයියෙන් කෑ ගහලා සුද්ද සිංහල ටිකක් කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්.