රාජපක්ෂ පවුල‌ේ කඹ ඇදිල්ල‌ෙන් ඒ්කාබද්ධයත් දෙකෙට බෙදෙයි – මන්ත්‍රීවරු 18ක් මහින්දට පස්ස ප‌ෙන්නලා..

රාජපක්ෂ පවුල‌ේ කඹ ඇදිල්ල‌ෙන් ඒ්කාබද්ධයත් දෙකෙට බෙදෙයි – මන්ත්‍රීවරු 18ක් මහින්දට පස්ස ප‌ෙන්නලා..
Spread the love

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) වැඩි ඡන්ද 44 කින් තේරී පත්විය. එහිදී එක් ඡන්දයක් අවලංගු වූ බව කථානායක කරු ජයසූරිය මහතා සභාවට නිවේදනය කළේය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මහත්මිය ඡන්ද 53 ක්ද, ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක්ද ලබා ගෙන වැඩි ඡන්ද 44 කින් තේරී පත් විය.ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය නොදී සභාවෙන් පිටව ගියහ.නම් දෙකක් යෝජනා වූ බැවින් නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විණි.

මේ අවස්ථාව‍ෙ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුද කිහිප දෙනෙක් සභාවේ නොසිටියහ. එසේම ඒකාබද්ධ විපක්ෂයේ හා 16 කණ්ඩායමේද මන්ත්‍රීවරු පිරිසක්ද සභාවේ සිටියේ නැත.

කෙසේ වෙතත්,නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙදි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙකට බෙදී ඇති බව දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලනිපයෙන් ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට සහාය දක්වන ලෙසට එම පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රින් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ගැන එහි පක්ෂ නායකයන් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කොට තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනා මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කරන බව දැනුම් දී තිබූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇයට සහාය දෙන බවටද ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට පසුව, ඊයේ (05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා එයට විරෝධය ප්‍රකාශ කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රසන්නත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් දෙදෙනාත් විරුද්ධ නම් ඡන්ද නොදී ඉන්න. අනෙක් අය සුදර්ශනීට ඡන්දය දෙන්න යනුවෙනි.

මේ අතර නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේ අවසාන මොහොතේ බාහිර බලපෑමක් මත ඡන්ද දීමෙන් වැළකී සිටි ඒකාබද්ධයේ කීප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටි ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට කැඳවා ගෙන ගොස් කැන්ටිමේ වාඩි කරවා ගෙන ඡන්දය දීමෙන් වළක්වා ගෙන ඇති බවද වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළ මන්ත්‍රිවරයා ජයග්‍රහණය කරවීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 18 දෙනකු ඡන්දය දෙන අවස්ථාව මඟ හැර ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අදහස්  පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පිළිනොපදින කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් සිටිනවාද යන සැකය මතුවන බවයි.

මැතිසබය තුළ රැඳී සිටිමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර සභාවේ නොසිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු පමණ ඉටුකළේ කාගේ වුවමනාවක්ද කියා බරපතළ සැකයක් මතුවන බවද ඔහු සඳහන් කරයි

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒකාබද්ධ විපක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබූ බවද ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ආණ්ඩුවේ සිටින ඇතැමෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණීමද බරපතළ ප්‍රශ්නයක් බව ඒ මහතා පෙන්වා දෙයි.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඒකමතික තීරණයක් ගත් බවද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.