ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා

ආණ්‌ඩුවේ නව බදු පනතින් ඊ.පී.එෆ්. පොලිය බහිනවා
Spread the love

ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කර තිබෙන නව ආදායම් බදු පතන මගින් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ හිමි පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පොලියේ අඩුවීමක්‌ සිදුවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25) පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මුදල් අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා වෙත 2018 මැයි 18 වන දින මේ බව දැනුම් දී ඇතැයි වසන්ත සමරසිංහ මහතා ඊයේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සමරසිංහ මහතා මෙසේද කීය.

පෞද්ගලික අංශයේ ලක්‍ෂ 26 ක ප්‍රමාණයක්‌ සේවක අර්ථසාධක අරමුදලට සක්‍රිය දායකත්වයක්‌ දක්‌වනවා. මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මහා භාණ්‌ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය මත එහි ප්‍රතිලාභීන්ට සියයට දහයයි දශම පහ (10.5) බැගින් වූ පොලියක්‌ ගෙවනවා.

නමුත් මේ නව බදු පනත ක්‍රියාත්මක වීම හරහා සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබන ප්‍රතිලාභීන්ට මේ වන විට ගෙවන සියයට 10.5 ක පොලිය සියයට නමය (09) දක්‌වා අඩුකිරීමට සිදුවන බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

ඒ නිසා අපි ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු බලධාරීන්ගෙන් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට හිමි පොලිය මත බදු අය නොකරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් සියලුම පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කර දීප ව්‍යාප්තව දැවැන්ත විරෝධතාවය දියත් කරනවා. ලබන ජූලි මස මුල් සතියේ පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීම සහ දැනුවත් කිරිමේ වැඩසටහනක්‌ ක්‍රියාවට නංවනවා.

පුවත්පත්වල දැන්වීම් දමමින් සේවක අර්ථසාධක අරමුදලෙන් සේවකයන්ට ලබාදෙන පොලිය අඩුකිරීමක්‌ සිදුනොකරන බවට පුනපුනා කීවත් එය අසත්‍යයක්‌ බව නියෝජ්‍ය මුදල් අධිපතිවරයා ඉදිරිපත් කළ ලිපිය අනුව පෙනී යනවා. මෙම නව බදු පනත හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට අහිමි වන මුදල රුපියල් බිලියන 30 ක්‌ පමණ වන බවට ගණන් බලා තිබෙනවා.