රාජපක්ෂ වරුන්ගේ උවමනාව ඉටු කිරීම සඳහා තමන්ට මරණීය තර්ජන කරන බවට චෝදනා කරන ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ආරක්ෂා කරන ලෙස ජනපති අගමැති දෙපළගෙන් ඉල්ලා සිටී.
යුද්ධයේදී සමූහඝාතන සඳහා රසායනික අවි යොදාගත් බව හෙළිදරව් කිරීම පසුගිය පාලන සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට හේතුවූ වග පවසන ඇය, තම සැමියා සොයා ගැනීම වැළක්වීමේ දේශපාලන අවශ්‍යතාව ඇත්තේ රාජපක්ෂවාදී බලවේග වලට බව අවධාරණය කරන්නීය.
ඔහු අතුරුදහන් කිරීම යුක්ති සහගත කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන එකී බලවේග ප්‍රගීත් ට එරෙහිව එල්ටීටීඊ චෝදනා මතු කළත්, එහි ඇති අසත්‍යතාව ආරක්ෂක බලධාරීන් විසින් අධිකරණය හමුවේ තහවුරු කොට ඇති බව සන්ධ්‍යා මහත්මිය පෙන්වා දෙයි.
මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවට ජනාධිපති ධුරයට පත් මැතිවරණය පැවති 2010 ජනවාරියේ පැහැරගෙන යන ලද මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාට අත්වූ ඉරණම හෙළිකර ගැනීමට නීතියේ පිළිසරණ සොයා යාමේදී ඔහුගේ බිරිඳට බැන වැදී අඩන්තේට්ටම් කිරීමේ වරදට සිරගත කරන ලද බොදු බල සේනානායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි දැනට ඇප ලබා නිදහස්ව සිටී.
උන්වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් පිරිස් මෙහෙයවමින් ජනාධිපති උපදේශක උලපනේ සුමංගල හිමි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන්ට සහ දරු දෙදෙනාට මරණීය තර්ජන එල්ල කරන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියාය.
තර්ජනයේ සැබෑ අරමුණ :
එම තර්ජනයේ සැබෑ අරමුණ යුද හමුදා සාමාජිකයන් විසින් පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනයන ලද බව දැනට අනාවරණය වී ඇති ප්‍රගීත් එක්නැලිගොඩට අත්වූ ඉරණම හෙලිදරව් වීම වැලැක්වීම බව සන්ධ්‍යා මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විදේශ සංචාරයකදී ස්වකීය දූත මණ්ඩලයට එක් කරගත් පළමු භික්ෂුව නාරාහේන්පිට ධර්මායතනයේ විහාරාධිපති උලපනේ සුමංගල හිමි ය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 2018 මාර්තු ජපන් සංචාරයටය.
ටෝකියෝ නුවරදී ජනාධිපතිවරයා සහභාගිවූ නිල හමුවකට ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ද සහභාගිවී සිටියේය.
බොදු බල සේනානායකයා විසින් 2016 දී හෝමාගම අධිකරණයේදී තමන්ට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් ඔහු අයත් සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන්ට කළ පැමිනිල්ලද සංඝ සභාව විසින් නොතකා හැරීම සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මියගේ මහත් කම්පාවට හේතුවී තිබුනි.
“පටාචාරාවක් වන මගේ ඉල්ලීම පයේ පෑගෙන දුවිල්ලක් තරම් වත් ගණන් අරගන්නේ නැතිව ඒක විසික් කරලා දැම්මා,” යි කී ඇය අධිකරණයේ සරණ පතා යාමට සිදුවූයේ ඉන් අනතුරුව බව පැවසුවාය.
අතුරුදහන් කරන ලද සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වැදීම නිසා තමන් පීඩාවට පත් කරන බලවේග වෙනුවෙන් පෙනී ඉන්නා බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියගේ දෝෂ දර්ශනයට ලක්විය.
(radiogagana)