මැලේසියාවේ ආධාර මත ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීන්දුවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී තදින් දොස් පවරා ඇත.
මෙම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම පිළිබඳව වූ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත පළමුව කරුණු වාර්තා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. මැලේසියාව මේ පිළිබඳව දිගින් දිගටම විමසන බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය තීරණයක් ගත් පසු එය ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයාගේ වගකීම බව රණතුංග ඇමැතිවරයාට පවසා ඇත. මෙහිදී ජනාධිපතිවරයා අර්ජුන රණතුංග මහතා වෙත ඉතා තදින් පවසා ඇත්තේ හොඳ නරක වැඩක් නෑ තීන්දුවක් ගත්තාම එය ක්‍රියාත්මක කරන ලෙසය.
මේවා රටට වැදගත් ආයෝජන බවත් එනිසා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අර්ජුන රණතුංග ඇමැතිවරයාට මෙහිදී තරමක් තදින් පවසා තිබේ. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙහිදී කතා කළහ. ඔහුගේ අදහස වී ඇත්තේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් ආයෝජකයෝ ලංකාවට පැමිණීම අඩුකරනු ඇති බවයි. මෙහිදී කතාකළ අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාව මේ පිළිබඳව දැනුවත් කරන බව පැවැසූ නමුත් ඊට මැදිහත් වූ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ලේකම්ට කීම නොව ඇමැතිවරයා විදිහට මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ වගකීම ගන්නා ලෙසය.

