තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ඇති කරන්න ඉඩ නොදෙන අතර රටේ ඒකීය භාවය හා බුද්ධාගමේ ප්‍රමුඛතාවය ආරක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (04) ප්‍රකාශ කළේය.
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කීවේය. අගමැතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.
අපි හැම වෙලාවෙම මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරපු එල්.ටී.ටී.ඊ සංවිධානය අපට යළි ඇති කරන්න වුවමනා නැහැ. ඒ පදනම ඒ රාමුව උඩ අපි ඉදිරියටත් ක්‍රියාකරනවා.
මේ රටේ ඒකීය භාවය බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්ෂා කරමින් මේ රටට අවශ්‍ය සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වන දේශපාලන විසඳුමකින් ඒ මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත් බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නත් විසඳන්න තියෙනවා. ඉඩම් ආපසු දීම ගැනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.
උතුරු නැගෙනහිරට සංවර්ධනය වුවමනායි. ඒ සංවර්ධනය නැතිව දියුණු වෙන්න බැහැ.
මහේෂ්වරන් ඇමැතිතුමියගේ කතාව දැනගත් අවස්ථාවේදීම මමත් කථානායකතුමාත් සාකච්ඡා කළා. ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමිටුව ඊයේ (03) රැස්වුණා. මෙහේෂ්වරන් ඇමැතිනිය සම්බන්ධයෙන් කතා කළා. ඇය අසනීපව යාපනයේ සිටින බව දැනගන්නට ලැබුණා. අද කොළඹට ආවාම මා මුණගැහෙන්න කියලා දැනුම් දුන්නා.
අප ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග පරීක්ෂණ තීරණය කරලා තියෙන්නේ. එතුමිය මුණ ගැසුනට පස්සේ ඒ අදාළ පියවර ගන්න කැමතියි. අපි හැම වෙලාවෙම ඒ ස්ථාවරයේ ඉන්නවා.
යුද්ධය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව කැපකිරීමක් කළා. රට නොබෙදී තියාගන්න කැපවීම් කළා. ත්‍රස්තවාදීන් ද්‍රවිඩ පක්ෂත් අනෙක් පක්ෂවල නායකයන්, අපේ පක්ෂයේ නායකයන් මරා දැම්මා. රටේ මූලධර්මවලට පටහැනිව ක්‍රියාකළොත් ඊට එරෙහිව කටයුතු කරනවා.
එල්.ටී.ටී.ඊය රට බෙදන්න විතරක් නොවෙයි පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරන්නත් කටයුතු කළා. පොලීිසියේ 600 ක් මරපු කරුණා තමන්ගේ පක්ෂයේ උපසභාපති කරන්නත් ප්‍රභාකරන්ට මුදල් දීලා ජනාධිපතිවරණය දින්නා නම් එල්.ටී.ටී.ඊය පරාද කරපු හමුදාපති හිරේ දැම්මා නම් අද කොහොමද ඇවිල්ලා මේ ගැන කියන්නේ.
(විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් කෑ කෝ ගසයි)
කථානායකතුමා තදින් ක්‍රියාකරන්න ඕනා මෙන්න මෙහෙම අයටයි. සරත් ෆොන්සේකාට කරපු දේශපාලන පළිගැනීම් ගැන අද ඔබතුමාට ලිපියක් දීලා තියෙනවා. එහෙම නම් අපි ඔක්කොම එකතු වෙලා ඒක අනුමත කරමු.
ඇයි මෙතුමා හිරේට යැව්වේ. අපි දන්නවා ඊයේ මෙතැන කෑ ගැහුවේ නිව්යෝර්ක් ටයිම්ස් කතාව නවත්තන්නනේ. ඕකනේ ඕනා වුණේ. පොලීිසියේ 600 ක් මරපු මිනිහා උපසභාපති කරලා ප්‍රභාකරන් මරපු මිනිහා හිරේ දැම්මා. විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසද්දී අගමැතිවරයා අසුන් ගත්තේය.

