ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවරදී සඳහන් කළේය.
වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය පරිදි කිසිදු පක්ෂයක් වෙනස් නොවූ බව හෙතෙම පැවැසීය. තමා එක්සත් ජාතික පක්ෂය සමග දීර්ඝ කාලයක් කටයුතු කළ නමුත් අද වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල ලෙස කලකිරීමට ලක්ව ඒ අයගේ බලාපොරොත්තු බිඳ වැටී ඇතැයිද කීය. අද ගම්වල ජීවත් වන එක්සත් ජාතික පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරීමෙන් පසු වන නිසා ඔවුන්ටත් රටේ මධ්‍යස්ථ මතධාරීන්ටත් තමා පිහිටුවන නව පක්ෂය වේදිකාවක් වනු ඇතැයි මෙහිදී ඔහු අවධාරණය කළේය.
තමා ගොඩනගන අලුත් පක්ෂය රටේ මධ්‍යස්ථ මතධාරීන් සහ කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැවැන්ත වේදිකාවක් වන අතර තම පක්ෂය රටේ රජුන් තනන දැවැන්ත බලවේගය බවට පත්කරන බවද කීය. ඉදිරියේදී අප කවුරුත් නොසිතන අයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි නිසා තම පක්ෂය රජුන් තනන තීරණාත්මක සාධකය බවට පත්කරන බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. රට වෙනුවෙන් යමක් කළහැකි අලුතින් සිතන අලුත් තරුණයන්ට, පක්ෂය ගැන කලකිරී ඇති එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ රටේ මධ්‍යස්ථ මතධාරීන්ට තම පක්ෂයේ දොරගුළු සෑමවිටම විවෘත වී ඇති බවද තිස්ස අත්තනායක මහතා පැවැසීය. මේ වන විට මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනතාව අතරට නව පක්ෂය ගැන තොරතුරු ගලාගොස් ඇති බවත් ඉදිරි දෙසැම්බර් මස වන විට තමාගේ අලුත් පක්ෂය කරළියට ගෙන එන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

