දකුණු ආසියාවේ දේශපාලනය අන් රටවල දේශපාලනයට වඩා බෙහෙවින් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ සියල්ලටමත් වඩා වෙනස් ය. මේ වෙනස ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යුහය ම උඩු-යටිකුරු කරන්නේ එක් දේශපාලන ව්‍යාපාරයක සමාරම්භයේ සිට ය. රාජවංශික ධූරාවලියක රාජ්‍ය පාලනයෙන් පුරවැසියන් පාලනය කළ සිරිලක පාලන ව්‍යුහයට කනකොක් සුද පෙනෙන්නට ගන්නේ, කිතු වසින් 1505 න් පසුව සිට ය. එතැන් පටන් ලොව ප්‍රබල අධිරාජ්‍යවාදී රාජ්‍ය තන්ත්රයන් තුනකට යටත්ව සිටිය ද, එක හෙළා කනපිට හරවන්නට අසමත් වූ හෙළ ජන සංස්කෘතිය අසම්මතව වෙනස් කරන්නේ, ඒ අධිරාජ්‍යයන්ගේ දඬු අඬුවෙන් ගිලිහුණු පසු වීම ද විශේෂිත ය.
අධිරාජ්‍යවාදීන්ගේ තෝන් ලණුව බුරුල්වෙත් ම, කෙවිට අතට ගන්නේ කලු සුද්දන් වීම තේරුම් ගත්තේ, එදා විසූවන්ගෙන් අතළොස්සකි. ඒ කලුසුදු පරම්පරාව ව්‍යසනයක් වන බව ග්‍රහණය කර නොගත් සමාජය ඊට ම නොදෙවෙනි සුදු වේට්ටි හා සුදු සාටක හැව දවටාගත් තවත් පරපුරකට තම උරුමය බන්දේසියක තබා පරිත්‍යාග කරන්නේ ය. බෙලහීන ගැන්වූ වාමවාදී කණ්ඩායමක ශේෂයන් සමඟ අතවැල් බැඳගත් තවත් රදළ නායකයින් පිරිසක් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආටෝපයෙන් එදා සමාජය නිර්වින්දනය කරන්නට සමත් වී ය.
ලේ නොසොල්වා ලබාගත් නිදහස යැයි මොරදුන් විගඩම් බල පැවැරුමෙන් අනතුරුව, සිරිලක දේශපාලනය, නිරන්තරව ගිනි පුපුරු අළු යට සැඟ වූ දඩ බිමක් බවට පරිවර්තනය වී ය. රාජ නීතිය-රාජ අණ යටතේ, තිරස්චීනව දඬුවම් දුන් ක්‍රමය වෙනුවට, ජන සම්මතවාදයට යටත්තොට විනිවිද භාවයක් පෙන්වා මිනී මරණ අල්තාරයක හා පුදසුනක සිරිලක දේශපාලනය සතපවන්නට ඔවුන් සමත් වී ය. ඊට සාවධානිතව අනුගත වූ පිරිසක් සිරිලක ගම්බිම්වල ද විසූ බවට මෑතක් වනතුරු ම සාක්ෂි තිබුණි. මේ ඇතැමුන් කොතෙක් දුරට ඔවුනට යටහත් පහත්ව සිටියේ ද යත්, මහ රැජිනගේ පින්තූරයක් රාමු කොට ඉතා ගෞරවයෙන් නිවසේ ඉහළින් ම එල්ලා ගන්නට තරම් ඔවුන් නිහතමානී වී සිටියේ ය.
කෙසේ වෙතත්, 70 දශකය ආරම්භ වෙත්ම, වාම නැඹුරුවකින් යුතු පක්ෂ කිහිපයක් සමඟ දක්ෂිණාංශික, එහෙත් සෙප්පඩවිජ්ජා සහිත පංචශික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගාගත් සමඟි පෙරමුණු රජය සාධනීය පියවර කිහිපයක් තබන්නට සමත් වී ය. රැජිනගේ ආණ්ඩුවට යටත්ව තව දුරටත් සිටීමට වූ නෛතික භාවය අවලංගු කර, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීම වැදගත් සේ සැලකිය හැකි පියවරකි. ඒ සමඟ ම පෑදි දිය බොර කරන්නට මාන බලමින් සිටි යැංකි ගැති එක්සත් ජාතික පක්ෂයේ එදා නායකත්වයට බල දේශපාලනයේ පිම්මක් පනින්නට උර දෙන දෙවසරක් ද නිර්මාණය කර දෙන්නට සමඟි පෙරමුණු රජය සමත්ව සිටියේ ය. සැබැවින් ම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ආශීර්වාදයක් වූ, සත් වසක සාපයක් ලෙස අරුත් ගැන් වූ පස් වසකට එක් වූ වසර දෙක අදටත් විවාදපන්න ය.
පස්වසකට බලයට පැමිණ, ජනරජයේ සිට ගණන් බලා හෝ අරුත් ගන්වා හෝ සත්වසක් දක්වා ගෙවූ සමඟි පෙරමුණු රජයේ සමඟිය ඊට පෙර ම දෙදරා ගොස් තිබුණි. එක්සත් ජාතික පක්ෂය පරදා, 1970දී බලයට එන්නට ගොඩනගාගත් හා සාධනීය පියවර රැසක් රටට දැයට උරුම කර දුන්, වාමාංශික නැඹුරුවට හා සහයෝගීතාවට ඒ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පයින් ගසා තිබුණි. මේ සියල්ලේ වාසිය, කෛරාටික දේශපාලන නායකයෙක් වූ, ජූනියස් රිචඩ් ජයවර්ධන විසින් මනාව කළමනාකරණය කරගෙන තිබුණි. 21 වන සියවසේ 2018 වසරේ අප මේ ගෙවන කාල පරාසයේ, අහන්නට දකින්නට ලැබෙන දේශපාලන පළිගැනීම් හා මඩ ප්‍රචාරයන් ද මීට සමානව ම සිදු වී ය.
මෙසේ වර්ධිත දේශපාලන මතය ඔස්සේ, ජේ. ආර්. ජයවර්ධන බලය ලබාගත් ආකාරය ඉතා සරලව මීට පෙර ලිපියකින් (කොලපාට සමාජයේ ගිය නුවණ ඇතුන් ලවා ඇද්දවිය හැකි නම්…) අපි සාකච්ඡා කළෙමු. එතරම් සටකපට වූ එක්සත් ජාතික පක්ෂය පසු කලෙක, තමන් විසින් ම කිරි පොවා ඇති දැඩි කළවුන්ගෙන් ම පරිභව හා දඬුවම් ලබමින් පරාජයන් රැසකට උරුම හරුමකම් කීවේ ය. අදටත් එහි වෙනසක් නැත. අවසානයේ අද වන විට ආනයනික පොදු අපේක්ෂක පිරුවටයෙන් ඔතා මිස, තමන්ට අගමැති හෝ ඇමති ධුරයක් ලබාගන්නට නොහැකි තැනකට ඇද වැටී තිබේ.
එක්සත් ජාතික පක්ෂයට කරුමය මෙසේ පලදෙද්දී, පක්ෂය අභ්‍යන්තරයෙන් ම යළිත් කුණාටු කිහිපයකට මුහුණ දෙන්නට වන තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතී. අසීරු හා දුෂ්ට ප්රතිවිපාකයන්ට මුහුණ දෙන අවස්ථාවක දී එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යම ශක්තිය දුන් ප්‍රබලයින් ඉවත්ව යෑමේ හා ඉවත්වන තැනට වැඩ සැලසීමේ අසම්මත ක්‍රමවේදයකින් ද එක්සත් ජාතික පක්ෂය මේ වන විට පීඩා විඳිමින් සිටී. පොදු අපේක්ෂක භූමිකාව දෙවන වර රඟදැක්වීමත් සමඟ ම, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පක්ෂය හැර යන තැනට වැඩ සිදු වී ය. කෙසේ හෝ බලය ඩැහැගැනීමෙන් අනතුරුව, දෙවසරක් එළැඹෙත් ම, ප්‍රබල ම අමාත්‍ය ධුරය වන මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක නිහඬ කොට තැබීමට සිදු වී ය.
තිස්ස අත්තනායක ඉවත්ව යෑමෙන් ඇති වූ හිඩැස පුරවා ගැනීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබේ. ඒ බව මේ ගෙවුණු වසර තුන තුල පක්ෂය අභ්‍යන්තරයේ වූ වෙනස්කම් සාධනීය නොවූ බව ප්‍රකට වීමෙන් ම පෙනී යයි.
රවී කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයට තවමත් ඉතිරිව ඇති හොඳම අනාගත ආයෝජනයයි. ලිබරල් මතධාරීන්ට තෝතැන්නක් වන එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් සංවර්ධනයට, ඊට ම සරිලන වෝහාරික සුදුසුකම් සපුරාලිය හැකි පුද්ගලයා වූ යේ ද රවී කරුණානායක ය. විශේෂයෙන් අග නගරය කේන්ද්‍ර කරගත්, ඉහල හා මධ්‍යම පාන්තික නියෝජනය ශක්තිමත් කළ හැකි යාන්ත්‍රණයක් සැකසීමේ හැකියාව පවතින පුද්ගලයා වූයේ ද රවී කරුණානායක ය.
එක්සත් ජාතික පක්ෂය වැනි යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීමට සැපිරිය යුතු සියලු සුදුසුකම් රවී කරුණානායක සතු ය. එමෙන් ම ඔහු පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී ද, අද දක්වා ද ඒ සියල්ල ජයගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. එහෙත්, පක්ෂ අභ්‍යන්තරයේ ම වන බල අරගලය හමුවේ, කුමන්ත්රණකාරී වාතාවරණය සමහන් කරගැනීමට රවී කරුණානායක අසමත්වීම ඔහුගේ සතුරන්ට ජයක් අත්කර දී ඇත. එක්සත් ජාතික පක්ෂය පැත්තේ සිට බලන විට කනගාටුවට කරුණ නම්, දෙවැනි පෙළ නායකත්වයක් ද ප්‍රකට නොකරන ආස්ථානයක දී, දුෂ්කර අවස්ථාවක බර කරට ගත හැකි රවී වැන්නෙක් නිර්වින්දනය කොට තිබීම පක්ෂයට අභාග්‍යයක් බව ය.
රවී කරුණානායක සහ තිස්ස අත්තනායක යන දෙදෙනාගේ ම වත්මන් භූමිකා දිනෙන් දින අලුත් වෙමින් තිබේ. දේශපාලනයේ ඇතුලාන්තය ට එබිකම් කරන්නන්ට මේ දෙදෙනා ගන්නට සූදානම් වන පියවර රහසක් නොවේ. එහෙත් දෙදෙනා ම ප්‍රකට කරන එක් ගුණයක් තිබේ. එනම් ඉවසීමයි. රවී ගේ ඉවසීම ඕනෑවටත් වඩා ය. තිස්සගේ රතු කට්ට පැන ගොස් පියවරක් ගෙන ඊළග පියවරට සූදානම් වෙමින් සිටී. මේ දෙදෙනාට ම පොදු තවත් ප්‍රබල සාධකයක් ද තිබේ. එනම් මේ දෙදෙනා ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ ගජ මිතුරු කල්ලියේ සතුරන් වීම ඒ මහා පොදු සාධකයයි.
වෙනස්වන ශ්‍රී ලාංකේය වත්මන් දේශපාලනයේ රවීගේ සුදුසුකම, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ළං විය හැකි වීම ය. තිස්සගේ සුදුසුකම එක්සත් ජාතික පක්ෂයට රිදෙන්න යමක් කළ හැකි වීම ය. මේ දෙදෙනාගේ ම මේ අංශයේ පොදු සුදුසුකම ඉවසීම ඉක්මවා ගිය තැනක දී එක්සත් ජාතික පක්ෂයේ පළුවක් ගලවා දැමිය හැකි වීම ය.
පවතින තත්ත්වය තුල මේ දෙදෙනා ම වැදගත් භූමිකාවකට හිමිකම් කීමට ඇති ඉඩ ප්රස්ථා බහුල ය. අපගේ ආරංචි මාර්ග වලට අනුව, තිස්ස අත්තනායක ඊ ලග පියවර තැබීමට සූදානම් ය. රවී කරුණානායක තවමත් “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන්න විශ්වාස කරමින් සිටින බවක් හැඟේ. එහෙත් මේ තත්ත්වයනට මුහුණ දීමේ අභියෝගය නිතැතින් ම ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය තුල ය. වත්මන් නායකත්වය තුල ය.
සිවු වතාවක් අධිකරණය මගහැර සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තිස්සට සාධාරණයක් ඉටු කරනවා ද, සහ චෝදනාවක් එල්ල වූ පමණින් ඇමතිධුරයෙන් ඉවත්වන තැනට වැඩ සැලසූ රවී කරුණානායක යළි ඇමති ධුරයක පිහිටවනවා ද යන පැන ද්විත්වයට ම පිළිතුරු ඇත්තේ රනිල් වික්‍රමසිංහ අත ය. මේ අනුව, මේ දෙදෙනාගේ ම අනාගත ක්‍රියා මාර්ග වලින් එක්සත් ජාතික පක්ෂයට වන හානිය වලක්වා ගැනීමේ හැකියාව පවතින්නේ ද රනිල් වික්‍රමසිංහ අත ය. තව ද, යුක්තිගරුකව කළගුණ දත්තාගේ ප්රතිරුව ප්‍රකට කිරීමේ වගකීම ඇත්තේ ද රනිල් අත ය. ඒ අනුව, තීරණාත්මක පැයේ දී යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට අගාධය හිමිවීම වලක්වාලීමේ තීරකයා වන්නේ රනිල් ය.
මේ අනුව, අතීතයේ ජේ. ආර්. මාමාගෙන් ලද පාඩම් උකසට ගෙනවත් කටයුතු කරනු ඇතිය යන විශ්වාසය සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයා පෙළන කාරණා අතර ඉහළින් ම තැබෙන්නේ, පෙර අප සඳහන් කළ දේශපාලන ඉතිහාසයේ සරදම් ද යළි ගලපා ගැනීමෙන් අනතුරුව ය. සාම්ප්‍රදායික යූඇන්පීකාරයා යනු එවැන්නෙකි. ඔහුට අවැසි පක්ෂ මිස වෙනකක් නොවේ ය.
# සටහන : ජනිත් විපුලගුණ

