ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු

ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු
Spread the love

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා ඊයේ (30) පැවැසීය.

ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත් සැසිය අගෝස්‌තු මාසයේ ආරම්භ වීමත් සමග නඩු පැවරීමට සිදුකරන බවත් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පීරිස්‌ මහතා කියා සිටියේය.

හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

මේ වන විට සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභාවල කාලය ඉකුත්වී මාස 9 ක්‌ ගතවී තිබෙනවා. ලබන ඔක්‌තෝබර් මාසයේ මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල කාලය අවසන් වෙනවා. එහෙම වුණොත් පළාත් සභා නවයෙන් පළාත් සභා 6 ක කාලය අවසන්වීම නිසා මන්ත්‍රීවරුන් නැතිව ජනතා ප්‍රශ්න ගොඩගැහෙනවා.

රජය කොහොමත් මැතිවරණ පවත්වන්න බයයි. ඒත් පාර්ලිමේන්තුවෙන් කියනකම් මැතිවරණය තියන්න මැතිවරණ කොමිසමට බැහැ කියලා මැතිවරණ කොමසාරිස්‌වරයා කළ ප්‍රකාශයට අපිට එකඟ වන්න බැහැ. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදියි.

1988 වසරේ ඇති කළ පළාත් සභා පනත 2017 නව පනතකින් අහෝසි කළා. නමුත් අලුත් පනත නිසියාකාරව කළේ නැහැ. එය අතරමැදදි කඩාකප්පල් කළා. ඒ නිසා තාමත් පැරැණි ක්‍රමය වලංගුයි. අලුත් ක්‍රමයක්‌ නීත්‍යනුකූලව සිදුවී නැත්නම් එතන හිඩැසක්‌ තියෙනවා. ඒ හිඩැස නිසා ජනතාවට තිබෙන ඡන්ද බලය නැති කරන්න කාටවත් බැහැ. ඒ නිසා පැරණි ක්‍රමයට (මනාප) ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලීමක්‌ කිරීමටයි ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්නේ.

සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ජනාධිපතිවරයා වෙත මාසයක්‌ ඇතුළත ඉදිරිපත් කළ යුතුව තිබුණා. එය අදවන තුරු ඉටුකර නැහැ. අලුත් නීතිය සම්මත වීමට නම් සිදුකළ යුතු පියවර හයක්‌ සම්මත විය යුතුයි. මේ වන තෙක්‌ සීමා නීර්ණ වාර්තාව ඇමැතිවරයාට ලබාදීම සහ ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කාරණා දෙක පමණයි ඉටුකර තිබෙන්නේ.