පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට ලක්ව තිබේ. සිර දඬුවම පිළිබද ඥානසාර හිමියන් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තොරතුරු හෙළිකර තිබුනි,
එම සංවාදය පහතින්,
ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම නඩු තීන්දුව ගැන ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?
පිළිතුර – උසාවියේ නඩු තීන්දුව පිළිගන්නවා සහ ඊට අපි ගරු කරනවා.
ප‍්‍රශ්නය – මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇත්තෙම නැද්ද?
පිළිතුර – මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇතැයි මම සිතනවා. එම නිසා මගේ නීතිඥ මහත්වරුන් ඉහළ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරාවි.
ප‍්‍රශ්නය – ඇත්තෙන්ම ඔබ වහන්සේ උසාවියට අපහාසයක් කළේ නැතිද?
පිළිතුර – පැහැදිලිව නැහැ. එහෙම අරමුණක් මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. මම අධිකරණයට අපහාස කළේ නැහැ. මම කතා කළේ කුමක්ද යන්න එතන හිටපු ඕනෑම කෙනෙක්ගෙන් හරියට දැන ගන්න පුළුවන්. ඒ වගේම එතන පැවැති නඩු කටයුත්තට මම බාධා කළේ නැහැ. එම නඩුව අවසන් වෙලා පිරිස එළියට ගිය පසු මම නඩුකාරතුමාගෙන් විමසා සිටියේ ස්වාමිනී මට කතා කරන්න පුළුවන්ද යන්න කියලයි. එතුමා මට එපා කිව්වේවත් නවත්වන්න කිව්වෙවත් නැහැ. ඉන්පසුව මම කතා කළා. මම විමසා සිටියේ ස්වාමිනී මේ අයට ඇප දෙන්න බැරිද කියලා පමණයි.
ප‍්‍රශ්නය – නමුත් හාමුදුරුවනේ මෙම නඩුවට අදාළ චෝදනා පත‍්‍රයේ සඳහන්ව තිබෙන්නේ ඔබ වහන්සේ ඇප දෙන්න බල කළා කියලා නොවේද?
පිළිතුර – මම එහෙම බල කිරීමක් කළේ නැහැ. මම විමසා සිටියේ ස්වාමීනි මේ අයට ඇප දෙන්න ක‍්‍රමයක් නැද්ද කියලයි. මම නඩුකාරවරයා සමග විනාඩි දෙක තුනක් කතා කළා. එතනදී මා වැරදියැයි කොහෙවත් කිව්වේ නැහැ. එතුමා අවසානයේ කිව්වේ ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් නිසා අවස්ථාව ලබාදුන් බවත් වෙනත් අයෙක් වූයේ නම් මීට වඩා තත්ත්වය වෙනස් බවයි. ඒ වගේම තමන් කටයුතු කරන්නේ නීතියේ ප‍්‍රතිපාදනයන්ට යටත්ව බවත් ඔහු සඳහන් කළා. එතුමාගේ දෑත් බැඳ ඇති බවද එතුමා සඳහන් කළා.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ පවතින නීතිය වෙනස් කළ යුතු බව එහිදී දැඩි ලෙස ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තියෙනවා.
පිළිතුර – ඔව් අපි මෙම රෝම ලන්දේසි නීතිය වෙනස් කළ යුතු බව කියන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් මෙහිදී මෙයට වැරදි අර්ථකථනයක් ලැබී තිබීමයි ප‍්‍රශ්නයට මුල. අපි තීන්දුව හෝ නීතිය පිළිගන්නේ නැහැ කියලා කිව්වෙ නැහැ. මේ රටේ මිනිස්සුන්ට නීතිය වෙනස් විය යුතු යැයි කීමට බැරි කමක් නැහැ. අපි කිව්වේ ඒ අර්ථයෙන්. නමුත් උසාවිය මෙය වැරදි ලෙස අර්ථකථනය කරගෙන තියෙනවා.
ප‍්‍රශ්නය – දිලීප පිරිස් මහත්මාට ඔබ වහන්සේ නපුංසකයා යැයි සඳහන් කළ බව චෝදනා පත‍්‍රයේ තිබෙනවා.
පිළිතුර – එහෙම දෙයක් චෝදනා පත‍්‍රයට දාපු එක ගැනම අපිට තියෙන්නේ මහ කනගාටුවක්. මොකද එතුමා එහෙමද නැද්ද යන්න නොදැන අපි කොහොමද එතුමාට නපුංශකයා යැයි කියන්නේ. ඇත්තටම එතුමාට අපහාසයක් වෙලා තියෙන්නේ අපි නොකී දෙයක් චෝදනා පත‍්‍රයට දැමීම තුළින් කියලයි මාගේ වැටහීම. අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි. දැන් ඉතිං හැමදෙයක්ම අනිත් පැත්තට යන එකේ මේකත් වෙලා තියෙන්නේ ගොරක දඩ මස් වෙලා තියෙනවා වගේ දෙයක් තමයි.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ අධිකරණය තුළ හැසිරුණේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ නොදැන නෙවෙයි නේද?
පිළිතුර – ඒක මෙහෙමයි. අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ අපේ වැටහීමක් තියෙනවා. නමුත් අපි වටහාගෙන සිටියේ එම අධිකරණයේ නඩුකාරතුමා සංවේදි පුද්ගලයකු ලෙසයි. අපට හිතුණා එතුමා සමග කතා කරන්න පුළුවන් කියලා. අපි කතා කළ විට එතුමා අපිව නොවළක්වා සිටියා. ඉන් අනතුරුව තමයි දිලීප පීරිස් මහත්මා අධිකරණය තුළට ඇවිත් ගිරිය පුප්පා කෑ ගහලා ගැටුමක් ඇති කර ගත්තේ. එහිදී තමයි මම සඳහන් කළේ නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් මේ තත්ත්වයන්ට වගකියන්න ඕනෑ වග. එහෙම නැතිව එකම පුද්ගලයකු ඉලක්ක කරගෙන මම අදහස් ප‍්‍රකාශ කළේ නැහැ. කොටින්ම කියනවනම් මම ඒ වෙලාවේ හිතුවේ දෑත්වලට මාංචු දාගෙන කඳුළු පිරි දෑසින් කූඩුවෙන් බිමට බහින අපගේ වීරෝධාර බුද්ධි අංශ සාමාජිකයන් ගැන පමණයි.
ප‍්‍රශ්නය – සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ වැරදිකරු වූ ඔබ වහන්සේ මේ මොහොත වන විට ඉන්නේ ඇප මතයි. එම නඩුවේ තත්ත්වය කෙබඳු වේද?
පිළිතුර – එම නඩුවත් අභියාචනාධිකරණයට යොමු කර තිබෙන්නේ. නඩුව ඉදිරියේදී විමසාවි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට සිරද`ඩුවම් නියම වී හමාරයි. ජනාධිපති සමාවක් අපේක්‍ෂාවෙන් පසුවන්නේද?
පිළිතුර – මේ ටිකට කතා කළ බොහෝ දෙනෙක් සඳහන් කළේ ජනාධිපතිතුමාගෙන් ජනාධිපති සමාව ඉල්ලූවොත් හොඳයි කියලා තමා. බොදුබල සේනා සංවිධානයේ අය ඒ ගැන සාකච්ඡා කරලා හරි තීන්දුවක් ගනීවි.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේව සිරගත කිරීමෙන් අනතුරුව ඔබවහන්සේ කරගෙන ආ ජාතික කාර්යභාරයට අත්වන ඉරණම මොකක්ද?
පිළිතුර – මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට හිතෙනවා එළියේ හිටපු ඥානසාර හිමිට වඩා සිරගතව සිටින ඥානසාර හිමි ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න ප‍්‍රබල සාධකයක් වේවි. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් හා දේශපේ‍්‍රමි බලවේගයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව දවසින් දවස එක එක සිදුවීම් නිර්මාණය කරනවා. ඒවා පාදක කරගෙන මොවුන් රටේ දැවෙන ප‍්‍රශ්න යටපත් කරනවා. එම උගුලට අසු නොවී ඇත්ත මතු කිරීමට කටයුතු කරන්නයි.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සංඝනුභාවේන නමින් සංවිධානය කර තිබූ කටයුත්තට මොකද වෙන්නේ?
පිළිතුර – මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ඒ මහා පිංකම යථාර්ථයක් කරගන්න ඔබ වහන්සේලාගේ සියලූ සහය දෙන ලෙසයි. රටේ පිරිහුන අධ්‍යාත්මිකත්වය සුවපත් කිරීමේ අරමුණින් තමයි සංඝානුභාවේන නමින් ජාතික චීවර පූජාව සංවිධානය කළේ. අධර්මය පරදවා ධර්මය දිනවන ඒ මහා කර්තව්‍යයට සහය දෙන්නැයි නැවතත් ඉල්ලා සිටිනවා.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය ගැන නොයෙකුත් කටකතා ප‍්‍රචාරය වෙනවා. අධිකරණ තීන්දුව පිළිබඳව දැනගෙනද රෝහල් ගත වුණේ.
පිළිතුර – කොහොමත්ම නැහැ. මීට කාලයකට පෙර සිට කොඳු ඇට පෙළේ වේදනාවක් තිබුණා. ඒ පිළිබඳව පරීක්‍ෂා කරගන්න තමයි රෝහලට ආවේ. එහිදී ඔවුන් මාව රෝහල් ගත කළා. ඊට පෙරත් 2016 අවුරුද්දෙ මැද භාගයේ කළුබෝවිල රෝහලේ ශල්‍යකර්මයක් කළා. ඒ මුත‍්‍රාශයේ ගල් සම්බන්ධව. එහිදී සඳහන් කළේ වකුගඩුවේ ගල් තවදුරටත් තිබෙන බවයි. ඒ පිළිබඳව ශල්‍යකර්මයක් සඳහායි රෝහල් ගතවීම සිදුවූයේ.
ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සිරගත කිරීමත් සමග රට තුළ මේ පිළිබඳව මහත් කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ වහන්සේ රටට දෙන පණිවුඩය කුමක්ද?
පිළිතුර – මෙම තීන්දුව උපේක්‍ෂා සහගතව සහ ඉවසීමෙන් බාර ගන්නා ලෙස මම සියලූ ස්වාමීන් වහන්සේලා ඇතුළුව රටේ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සදහා ශික්ෂණය අප සතුව තිබිය යුතුයි.