විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි

විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි
Spread the love

එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක්  පැවසීය.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවලට අදාළව ගත යුතු නීතිමය පියවර පිළිබඳ පරීක්‍ෂා කළ බවද නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇතැයි හෙතෙම කීවේය.

විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධව විවිධ පුද්ගලයන් සහ සංවිධාන පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමේ වාර්තාව පසුගියදා පොලිස්‌පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාද ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ පත්කළ අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙම කණ්‌ඩායම විසින් අධ්‍යයනය කර ඇත.

මේ සම්බන්ධව කථානායක කාර්යාලයෙන් අප කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් මෙතෙක්‌ කථානායකවරයා වෙත විජයකලා මන්ත්‍රීවරිය පිළිබඳ වාර්තාවක්‌ එවා නැති බවයි.

පොලිස්‌පතිවරයා විසින් මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇතත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වී ඇතිද යන්න සම්බන්ධව නීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දීමක්‌ කළ විට අවශ්‍ය පියවර ගත හැකි බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආධාර අනුබල දීම අනුග්‍රහය දැක්‌වීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට සෑම මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙන අතර එය උල්ලංඝණය කළොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර වසර හතක්‌ නොඉක්‌මවන කාලයක්‌ සඳහා ප්‍රජා අයිතිවාසිකම්ද නොලැබේ.