හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු

හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු
Spread the love

”ද නේෂන්’  පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ කෲර ලෙස වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයේදී … 

සිද්ධිය වූ දින තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තමන්ට මතක නැති බව ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (20) ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.

ඉහත සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක්‌ බවද කියා සිටියාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප්‍රශ්නයකටම පාහේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සාක්‍ෂිකරුවන්ට මෙලෙස අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක්‌ සිදු කරන ලෙස ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇතත් ඊට පිළිතුරු ලැබී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

ඇය සඳහන් කළේ තව දුරටත් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

මෙම සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කළේය.