පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම්ට සිතාසි

පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම්ට සිතාසි
Spread the love

වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ සාක්ෂිකරුවකු ලෙස නම් කොට ඇති පාර්ලිමේන්තුවේ හිටපු මහ ‍ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට ලබන නොවැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (28) නියෝග කළේය.

ධම්මික කිතුල්ගොඩ මහතාව විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට අපේක්ෂා කරන බව පෙන්වා දෙමින් සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර පහක කාලයක් සඳහා වත්කම්, බැරකම් හෙළි නොකිරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ෂේවියර් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනුකර තිබුණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් (නීති) ගංගා හෙයියන්තුඩුව මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කිංකිණි විලත්ගමුව, ඉන්දික ගිරාගම ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා විත්තිය නියෝජනය කළේය.