පුණ්‍ය කාලය උදාවෙයි – ආගමික වතාවත්වල නිරතවීම සුබයි..

Spread the love

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය මේ වන විට උදා වී තිබෙන අතර මෙවර නැකැත් පත‍්‍රය අනුව අපරභාර 7.40 ට පුණ්‍ය කාලය උදා වුණා.

14 වැනි සිකුරාදා පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

අද පස්වරු 7.40ට උදා වූ පුණ්‍ය කාලයේදී ආගමික කටයුතුවල යෙදීම සුබ පල ගෙන දෙන්නක් බව විද්වතුන්ද පවසනවා.

හෙට (14) පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වනවා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ටයි. රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ හෙට පූර්ව භාග 07.05ටයි. සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකත් පත‍්‍රයේ සඳහන් වනවා.

[rns_reactions]