එකක් රුපියල් හයලක්‌ෂ හතළිස්‌දහස බැගින් බස්‌නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් ආනයනය කිරීමට තිබූ පුටු ආණ්‌ඩුකාරවරයා විසින් අවලංගු කිරීම තමාට ප්‍රශ්නයක් නොවන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (14) පැවසීය.
කෙසේ වෙතත්, ඉදිරි මාස තුන ඇතුළත පළාත් සභාවට සුදුසු ගැළපෙන පුටු ආනයනය කිරීමට ආණ්‌ඩුකාරවරයා උපදෙස් දුන් බව ද ප්‍රධාන ඇමැතිවරයා කීවේය.
බස්‌නාහිර පළාත් සභාවට ගෙන්වීමට සූදානම් වූ පුටුවක මිල රුපියල් අටලක්‌ෂ හතළිස්‌හතර දහසක් බවත් එම පුටු ආණ්‌ඩුව අවලංගු කළ බවත් බස්‌නාහිර ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයාගෙන්විමසූ අවස්‌ථාවේ ඔහු එසේ කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතා කළ බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා මෙසේ ද කීය.
“ඇත්තටම මේ පුටුවක වටිනාකම අපි දැනගෙන හිටියේ නැහැ. මේ පුටු මිලදී ගැනීම් කරන්නේ අපි නෙමෙයි. ඒවා ටෙන්ඩර් අනුමැතියකින් ගෙන්වන්නේ. කොහොම හරි ප්‍රචාරය ගියේ මේ පුටු මමයි අනුමත කළේ කියලා. මම මේකට සම්බන්ධ නැහැ. කොහොම හරි දැන් මේ පුටු පළාත් සභාවට ගෙන්වන එක ආණ්‌ඩුකාරතුමා නතර කළා. එතුමා අපිට උපදෙස් දුන්නා මාස තුනක් ඇතුළත ගැළපෙන පුටුවක් ආනයනය කරන්න කියලා. මෙතන පුටුවටත් වඩා වැදගත් වෙන්නෙ මහජන සේවය. මට මොන බාධා තර්ජන ආවත් ජනතා සේවයට කැප වෙනවා.”
පුටුවටත් වඩා වැදගත් වෙන්නෙ මහජන සේවයයි…. මට මොන බාධා තර්ජන ආවත් ජනතා සේවයට කැප වෙනවා
