අගමැති වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති යෝජනාවට බාධා නොකොට ඡුන්ද විමසීමක් පවත්වා හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එය පරාජයට පත් කරන ලෙස අභියෝග කරන බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (21 ) පැවැසීය.
පවතින දේශපාලන තත්ත්වය හා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධව දැනුවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හමුවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විරුද්ධ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතිනම් ඡන්දය ප්‍රකාශ කොට යෝජනාව පරාජයට පත් කළ හැකි බවත් එසේ නොකොට ඊට බාධා කිරීමට උත්සාහ කළොත් පෙනී යන්නේ ඔවුනට බහුතර බලය නොමැති වීම බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.
පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංගය සම්මත වී ඇති බැවින් මේ වන විට ආණ්‌ඩුවක් හෝ කැබිනට් මණ්‌ඩලයක් නොමැති බැවින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමටද කිසිදු නෛතික බලයක් නැතැයිද හිටපු අගමැතිවරයා පැවැසීය.
එබැවින් විශ්වාසභංග යෝජනාවට අමතරව ගෙන එන මෙම යෝජනාව ජයග්‍රහණය කළහොත් වත්මන් අගමැතිවරයාට රජයේ මුදල් ප්‍රතිපාදන නොලැබෙන බවත් එබැවින් හැකිනම් මෙය පරාජයට පත් කිරීමට ක්‍රියා කරන ලෙස අභියෝග කරන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් එක්‌සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව ජයග්‍රහණය කරවීමට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.