මේ තාවකාලික ආණ්ඩුවක්
අගමැති ආණ්ඩු පෙරළියේ පරමාර්ථ ගැන ජාතිය හමුවේ පැහැදිලි කරයි
යහපාලන ආණ්ඩුව මේ රට අවුරුදු තුනහමාරක් පාලනය කරද්දි රට හැම ක්ෂේත්‍රයකින්ම අගාධයට ගිය බව ජනාධිපතිතුමාට පෙනී ගිය බවත්, එයින් රට ගොඩගැනීමට පුළුවන් තමන්ට බව එතුමාට අවබෝධ වූ බවත් ඒ අනුව ජනාධිපති තුමා තමන්ට රට බාර ගැනීමට ඇරියුම් කළ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සඳහන් කෙළේ ඊයේ (25) අගමැති කාර්යාලයේ සිට කළ විශේෂ දේශනයකදීය.
ඔක්තෝබර් 26 වැනිදින ආණ්ඩු පෙරළියේ පරමාර්ථය ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම්වල පූජකවරුන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත මෙම දේශනය මඟින් පැහැදිලි කැර ඇත.
ඔක්තෝබර් 26 වැනිදා පිහිටුවූයේ අන්තර්කාලීන ආණ්ඩුවකි. මෙම ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මට අවශ්‍ය රටේ ජනතාවගේ කැමැත්ත විමසීමට මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පිහිටුවීමටයි. ජනාධිපතිවරයා මට රටේ පාලනය බාර දුන් විගසම මැතිවරණයකට යමු යැයි මා සියලුම පක්ෂවලට යෝජනා කළා. මැතිවරණයකට කැමති වූයේ නෑ. සමහර අය අහන ප්‍රශ්නය තමයි ඡන්දයකට මාස 18ක් තිබියදී ආණ්ඩුව බාරගත්තේ ඇයි කියලා. රට අගාධයට යන බව ජනාධිපතිතුමාටත් අවබෝධ වී තිබියදී එය නොසළකා මඟහැරීමට මට පුළුවන් කමක් නෑ. රට තවත් විනාශයට යන්න ඉඩ නොදී මා රට බාරගත්තා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙහිදී මට පෙනුනේ ආණ්ඩු බලය කාට යනවාදැයි යන ප්‍රශ්නය නොවෙයි. මේක අපේ රටේ ජාතියේ, අ පේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි.
මා කලින් රට පාලනය කරද්දි එම අවුරුදු 9 තුළ ඩොලරයේ අගය රු 131කි. ආර්ථික වර්ධන වේගය 7.4ක්. පුද්ගලික ආදායම තුන්ගුණයකින් වැඩි කළා. දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර තිබුණේ 70%යි. අ පි 2015 ජනවාරි 9 වැනිදා බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සේ අද මුළු ආර්ථිකයම දැඩි අවධානමකට ලක්වෙලා.
2015 ජනවාරියේ එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ එජනිස මන්ත්‍රීවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බවද පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූ බවද එ.ජා.ප. මන්ත්‍රීවරුන් කීප දෙනකුද මේ සමඟ එක්වූ බවද අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට නායකත්වය දෙන්නේ තමන් බවද පෙන්වා දුන්නේය. 1994, 2001, 2004 මහ මැතිවරණවලින් පසු ඒ කාලේ ජනපතිවරුන් වන ඩී.බී. විජේතුංග මහතාත්, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියත් ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කෙළේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සිටි කණ්ඩායමට බවද ඒ අනුව 1994 පොදු පෙරමුණත් 2001 එක්සත් ජාතික පක්ෂයත් 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ආණ්ඩු සෑදූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනයෙන් අවධාරණය කෙළේය.