බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා

බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා
Spread the love

බලයේ සිටි රජය දිනෙන් දින රට අගාධයට ගෙන යමින් සිටි නිසා එම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
 
 අතුරලියේ රතන හිමියන් මේ බව කියා සිටියේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ධර්මායතනයේදී පෙරේදා (02) පැවැති ශී‍්‍ර ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
 
 මේ වන විට රටේ ව්‍යාකූලත්වයක් පවතිනවා. මමත් මේ මොහොතේ රටේ පවතින ව්‍යාකූලත්වයේ කොටස්කරුවෙක්. ගිය ආණ්ඩුව තිබුණා නම් රට හොඳට තිබෙන බව එයින් අදහස් වෙන්නේ නෑ. දේශපාලන වෙනසක් කියන්නේ කම්පා විය යුතු දෙයක් නොවෙයි. එය ආරක්‍ෂා කර මීට වඩා උසස් තැනකට රට ඔසවා තැබිය හැකියි.
 
 රටේ ජනාධිපතිවරයා විසින් තමන්ගේ දේශපාලන ප‍්‍රතිවිරුද්ධවාදියා වූ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්කර තිබෙනවා. මෙය සදාචාරාත්මක නොවන දෙයක් බවට සමහරු කීවත් මෙම පත් කිරීමට හේතු තිබෙනවා. ජනාධිපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණය ඇත්තක් ද මා දන්නේ නැහැ. නමුත් එයට කිහිප දෙනෙකුව දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා මෙය විහිළුවක් වෙන්න බැහැ.
 
 දැන් ජනපතිවරයා පත් කළ අගමැතිවරයාට පාර්ලිමේන්තුව කැමති නැති බව කියනවා. ඒක ඇත්ත. එහෙත් අකමැත්ත ප‍්‍රකාශ කරන නීතියක් රීතියක් ප‍්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා කථානායකවරයා මුලින් කළ යුතුව තිබුණේ විධායකය දුන්නු තීන්දුව පිළිගැනීමයි. ඉන් පසුව විශ්වාසභංගය සාකච්ඡුා කරන්න තිබුණා. එහෙම නැතිව විනාඩියෙන් විශ්වාසභංගය සම්මත කළා. මම ගැටුම මැදත් සාකච්ඡුා කර කටයුතු කරන ලෙස කථානායකවරයා අසලට ගොස් ඉල්ලීමක් කළා.
 
 එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වුණු මා පිනට පත් වූ අයකු බව එම පක්‍ෂයේ අය කියනවා. ඒත් අපි නොසිටියා නම් එක්සත් ජාතික පක්‍ෂයේ අයට ඇමැතිකම් කරන්න වෙන්නේ නැහැ. අපි තමයි ඒ ජනමතය හදා මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවට පත් කළේ. මෙය මට පිනට ලැබුණු මන්තී‍්‍ර ධුරයක් නොවෙයි. අපටත් සමාජයේ වටිනාකමක් තිබෙනවා. 
 මීට පෙර පැවති රජය පරාජය කරන්නට හේතු ගණනාවක් තිබෙනවා. ඒ ආණ්ඩුව බලයේ සිටින හැම දවසකම අපට රට නැති වූ නිසයි. ති‍්‍රකුණාමලයේ සිට මන්නාරම දක්වා අක්කර 250000 ක් විදේශීය සමාගම්වලට දෙන්න ඔවුන් සැලසුම් කළා. ඒ ගැන රටේ විපක්‍ෂය දන්නවාද? එහි හමුදා කඳවුරක් පිහිටුවන්න යනවා එයත් ශී‍්‍ර ලංකා හමුදාවට අයිති එකක් නොවෙයි. මේ ගැන සාකච්ඡුා කරන කමිටුවේ ඉන්න ඉන්දියානු හා ජපන් තානාපතිවරුනුයි මේ කමිටුව කැබිනට්ටුවේ සම්මත කරලාවත් නෑ. හම්බන්තොට වරාය විදේශයට දුන්නේ පාඩුවටයි. රජයේ අසාර්ථක වතු, හෝටල් හදන්න ජාවාරම්කරුවන්ට දෙන්න තීරණය කර තිබුණා. බස්නාහිර පළාතේ විශාල කාර්මීකරණයක් කරන්න ගියත් ඒ සැලසුම් අපි දන්නෙත් නැහැ.
 
 දැන් රට ගොඩනැඟීමට අපි කළ යුත්තේ කුමක්ද? දැන් අධිකරණ කි‍්‍රයාවලියක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අධිකරණ විනිසුරුවරුන් කියන්නෙ දෙවිවරු නොවෙයි. ඒ අයට වැටුප් ලැබෙන්නේ ජනතාවගේ බදු මුදලින්. මේ රට අස්ථාවර වෙනවා නම් කැරලි ඇතිවෙනවා නම් ඒක වලක්වන්න ඔවුන්ට පුළුවන්. අධිකරණමය තීන්දුවක් දෙන විට නීති පොතේ අකුරු වගන්ති පමණක් නොව ඊට එහා ගිය රට හා ජනතාව පිළිබඳව කල්පනා කර තීන්දු ගැනීමේ හැකියාව අධිකරණයට තිබෙනවා. එවැනි තීන්දු ලෝකයේ අධිකරණ මගින් ලබාදී තිබෙනවා.