පැරණි මනාප ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් එමගින් සිදු වන්නේ ජනමතය යටපත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මීට පෙර කළ විමසීමක දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි පැවසුවේ පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මේ වනවිටත් කෙටුම්පත් සකස් කෙරෙමින් ඇති බවයි. සති 02ක් ඇතුළත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එහි කටයුතු අවසන් කරනු ඇතැයි ද එහිදී ප‍්‍රකාශ කෙරුණි.
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු නම් ඊට ඇති සුදුසුම ක‍්‍රමය නැවත පැරණි ක‍්‍රමය බල ගැන්වීම නොවන බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ඒ පිළිබඳ සඳහන් කරන ලද අතර එහිදී “ඡන්දය නිසි කලට පවත්වන්නට නොහැකි වී ඇත්තේ එජාපයත් රාජපක්ෂ කණ්ඩායමත් සහ මෛත්‍රිපාල කණ්ඩායමත් සීමා නීර්ණ වාර්තාව පරාජයට පත් කරපු නිසා” යනුවෙන් ද සඳහන් කලේය.
කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ පළාත් සභා මැතිවරණ පැරණි ක‍්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් එකගතාවකට එළඹ ඇති බවයි. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මේ බව සඳහන් රෙන ලදී.
පළාත් සභා 09න් පළාත් සභා 06ක නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඒ, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුර යන පළාත් සභාවලයි. බස්නාහිර, දකුණ සහ ඌව යන පළාත් සභාවල පමණක් නිල කාලය තවත් ඉතිරිව ඇත. එසේ තිබියදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී ඇත්තේ එම මැතිවරණ සමානුපාත සහ කොට්ඨාශ මිශ‍්‍ර නව ක‍්‍රමයට පැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් නීති සම්මත කර ඇතත් ඊට අවශ්‍ය සීමා නිර්ණයන් පාර්ලිමේන්තුව විසින් තවමත් සම්මත කර නොමැති නිසාය. ඒ අනුව සීමා නිර්ණයන් සම්මත කිරීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් පැරණි ක‍්‍රමයට හෝ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු බවට මත ඉදිරිපත් වී ඇත.