ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි

ජනපති මෛත්‍රී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අදාළ යෝජනාව යුනෙස්කෝවට බාරදෙයි
Spread the love

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.

ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාරය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නායක ස්වාමින් වහ්නසේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා යන සියලුම මහානායක නාහිමියන් වහන්සේලා මෙම අවස්ථාවට එක්වීම ඓතිහාසික කරුණක් විය.

ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.