වෙසක් සතිය වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක් සකසා ඇති හෙයින් බිය නැතිව පන්සල් යන්නැයි වැඩ බලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා 15 වැනිදා මිනුවන්ගොඩදී පැවැසීය.
මිනුවන්ගොඩ නගරයේ සිදුවූ කලහකාරී තත්ත්වයෙන් පසු විනාශවූ කඩ සාප්පු සහ දේපළ නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්‌ථාවේදී හෙතම පැවැසීය.
මුස්‌ලිම් අන්තවාදී කල්ලිය හඳුනා ගෙන සිටින බවත් තවත් කිහිප දෙනකු ඉතාමත් කෙටි කාලයකදී අත්අඩංගුවට ගන්නා බවත් පැවැසූ වැඩබලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා රටේ ත්‍රස්‌තවාදය තුරන් කිරීම කඩිනමින් සිදුවන බව ද පැවැසීය.
නගරයේ විනාශයට පත් කඩ සාප්පු සහ මුස්‌ලිම් දේවස්‌ථාන නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට සහභාගිවූ ආරක්‌ෂක ඇමැතිවරයා නගර සහ ගම්වැසියන්ගේ ආරක්‌ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ආරක්‌ෂක අංශ වෙත දන්වා සිටියේය.
සිදුවූ කලහකාරී සිද්ධියේදී වෙළෙඳසල් 61 ක්, නිවාස 12 ක්, ආගමික ස්‌ථාන 01 ක්, සහ වාහන 09 කට හානි සිදුව ඇති බවට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්‌මිණි කුලතිලක මහත්මිය එම සාකච්ඡාවේදී පවසා සිටියාය. අලාභ හානි සම්බන්ධයෙන් තක්‌සේරු වාර්තා ලබාගෙන කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට ආරක්‌ෂක ඇමැතිවරයා මෙහිදී නිලධාරීන්ට දන්වා සිටියේය.

