ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පැහැදිලි කරමින් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බවයි.
බලහත්කාරයෙන් ජාතියක් වඳ කිරිම සමූල ඝාතනයක් බවත් ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තුරු හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසයි.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා,
“ජනතාව දකින විධියට සහරාන්ට වඩා ත්‍රස්තවාදියා ශාෆි ශිහාබ්දින් කියන වෛද්‍යවරයා. දැනට තමන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් ශාෆිට එරෙහිව ලැබී තිබෙනවා.
තවම මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ කරලා නෑ. රෝහල් ආරංචිමාර්ගවලට අනුව මොහු කරන ලද සැත්කම් ප්‍රමාණය 4000ක් නම් 4,000ක් කරන විට 1,000ක් වඳ වෙනවා කියන්නේ සැත්කම් කළ අයගෙන් 25%ක් වඳ වෙලා කියන චෝදනවාව එල්ල වෙනවා. ශාෆි කියන විධියට සැත්කම් 8,000ක් කළා කියමුකො. ඒත් 12.5%ක් වඳභාවයට පත් වෙලා. මොන පැත්තෙන් ගත්තත් සැක කටයුතුයි.
නමුත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවේ. ඒ නිසා ඔහුට චෝදනා නැගිය හැක්කේ බරපතල තුවාල සිදු කිරීම කියන වරදට. බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්.
ඒ සඳහා උපරිම දඬුවම වසර 7යි. බරපතල තුවාල සිදු කිරීම ඇප ලැබිය හැකි වරදක් නේද? සාෆිට ඇප ගන්න පුළුවන් නේද කියල කාට හරි හිතෙන්නට පුළුවන්. නමුත් ඇප පනතේ ඉතාම පැහැදිලිව කියනවා මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයෙකුට ඇප ලබාදෙන්න එපා කියලා.
බලහත්කාරයෙන් ජාතියක් වඳ කරනවා කියන්නේ සමූල ඝාතනයක්. ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතුයි. පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තෙක් හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපති කටයුතු කළ යුතුයි.
සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛණ අනුව අපි පෙන්වා දුන්නාට පස්සේ වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ අපිට තොරතුරු ලැබුණා. දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමු වෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා.
තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විධියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා. ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා. වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප්‍රශ්නයක් වුණා.
වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා. මේ ගැන සොයා බලද්දි තමයි හොරේ හෙලි වුණේ. වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොවේ. ආණ්ඩුවමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාරයාංශයයි. වඳ සැත්කම් කරගන්න අයටයි ඒ සදහා පොළඹවන අයටයි දිරි දීමනා ලබා දෙන්නේ.
1980 දශකයේ දී “පුංචි පවුල රත්තරන්” කියන සංකල්පය යටතේ “අපි දෙන්නයි – දරු දෙන්නයි” කියන තේමාව ප්‍රචලිත කලේ ලංකාවේ 2% ආසන්න ජනගහන වර්ධන වේගයක් පැවැති නිසා. දැන් ජනගහන ර්වධන වේගය 0.8%යි. සිංහලයින්ගේ නම් 0.5%යි.
ජර්මනිය වැනි ජනගහන වර්ධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ. දරු ප්‍රසූතියටයි. ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සිහිපත් කරනවා. දැන් තේමාව විය යුත්තේ “පුංචි පවුල රත්තරන්” නොවෙයි “වැඩුණු පවුල ඉස්තරම්” කියන එකයි. ඒ නිසා තව දුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදු කිරීම අවශ්‍ය නෑ. ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කර ගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නෑ.

