සාධාරණය ඉටු කරන්න ඇමති රවී ජනතාවගේ පැත්තේ සිට ගනී

සාධාරණය ඉටු කරන්න ඇමති රවී ජනතාවගේ පැත්තේ සිට ගනී
Spread the love

තෙල් නළය සකස් කිරීමේදී නිවාස අහිමිවන ජනතාවට වෙන්කර තිබෙන නිවාස ලබාදී තෙල් නළයේ නඩත්තු කටයුතු සිදුකරන ලෙස තමා තෙල් සංස්ථා නිලධාරීන්ට දැනුම්දුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (01) පැවසීය.

තෙල් නළය සකස් කිරීමටයාමේදී නිවාස 387ක් අහිමි වන බවත්, එම ජනතාවට නිවාස ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දුන් රුපියල් මිලියන 170ක් තවමත් ලබාදී නොමැති බවත් ඇමැතිවරයා කීය.

මෙම මුදල් නිවාස හිමියන් වෙත නොව ඔවුන්ට නිවාස ලබාදීම සදහා බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයට ලබා දියයුතු බවත් ඇමැතිවරයා කීය. මේ වනවිට මෙම පිරිස වෙත නිවාස ලබාදීම සදහා වෙන්කර තිබෙන මුදල් ලැබෙන තෙක් බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය නිවාස වෙන්කර බලා සිටින බවද හෙතෙම කීය.

මෙම පිරිසට නිවාස ලබාදීමට කටයුතු කරන බවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය භාරව සිටි ඇමැතිවරුන් දෙදෙනකු ලබාදුන් ලිපි ඔවුන් සතුව තිබෙන බවද කරුණානායක මහතා කීය. එම නිසා තෙල් සංස්ථා බලධාරීන් කළයුතුව ඇත්තේ විදුලිබල මණ්ඩලයට ලබාදෙන තෙල් නතර කිරීම නොව නිවෙස් අහිමිවන පිරිසට නිවාස ලබාදීමට වෙන්කර තිබෙන මුදල් කඩිනමින් මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙගා පොලිස් අමාත්‍යාංශයට ලබාදීම බවද ඇමැතිවරයා කීය.

විදුලිබල මණ්ඩලයට තෙල් නොදී යම් ආකාරයකින් විදුලිය විසන්ධිවීමක් සිදුවුවහොත් එහි වගකීම තෙල් සංස්ථා බලධාරීන් භාරගත යුතු බව කී ඇමැතිවරයා ඇතැම් විට තෙල් සංස්ථාවට විදුලිය ලබාදීමේදීද ගැටලූ මතුවිය හැකි බවත් පැවසීය.

උතුරු කොළඹ ජනතාවට යම් අසාධාරණයක් සිදුවනවා නම් ඒ ගැන සොයාබැලීම ප‍්‍රදේශයේ් මන්ත‍්‍රීවරයා ලෙස තමාගේ වගකීමක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.