මියගිය ලොව වයස්ගතම පුද්ගලයා පිළිබඳව මේ වතගොත ඔබ දැන සිටියාද?

Spread the love

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ දිවියෙන් සමුගත් බව වාර්තා වෙයි.

මිය යනවිට වයස අවුරුදු 117ක් වූ ඇය ඉතාලියේ පීඩ්මන්ට් ප්‍රදේශයේ උපත ලබා ඇත්තේ 1899 නොවැම්බර් 29 වැනිදා ය.

19වැනි සියවසය තුළ ඉපිද, ජීවතුන් අතර සිටි අවසාන පුද්ගලයා වශයෙන් ඇය නිල වශයෙන් වාර්තාගතවී සිටියාය.

පරම්පරාවෙන් ඇයට උරුමවූ ජාන සහ වසර අනූවක් පුරා, දිනපතා බිත්තර තුනක් ආහාරයට ගැනීම හේතුවෙන් තමන්ට දීර්ඝායුෂ හිවිවූ බවට ඇය විශ්වාස කළාය. ඉන් බිත්තර දෙකක් ඇය ආහාරයට ගෙන ඇත්තේ පිසීමකින් තොරව ය.

සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ එමා මොරානෝ අවසන් හුස්ම හෙළා ඇත්තේ ඉතාලියේ වර්බානියා හි පිහිටි ඇයගේ නිවසේදී ය.

එමාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා ඇයට පෙර දිවි හැර ගොස් තිබුණි.

සියවස් තුනක කාල පරාසය අතරතුර විහිදුනු එමා මොරානෝගේ ජීවිත කාලය තුළ ඇය ලෝක යුද්ධ දෙකම අත්දුටුවාය.

පළමු ලෝක යුද්ධය නිමවීමෙන් අනතුරුව ඇය රක්තහීනතාවයෙන් පෙළුණු බව වෛද්‍යවරයා විනිශ්චයකර තිබුණි.

ඉතාලි ආණ්ඩු 90ක පරිපාලන කාල පරාසයක් තුළ ඇයගේ දිවි සැරිය විහිදී තිබිණි.

හිංසාකාරී විවාහයක දුක්බර මතක සටහන් එමාට උරුමවූවාය. ඇයට දාව උපන් එකම පුත්‍රයාද සයමස් වියැති බිළිඳෙකුව සිටියදී මිය ගියේය.

තමන් දිගු කලක් දිවි ගෙවීමට හේතු වූ ජීව විද්‍යාත්මක සාධකය තමන්ට හිමි වී ඇති ජාන බව එමා පිළිගෙන තිබුණි. ඇයගේ මව මිය ගොස් ඇත්තේ 91වැනි වියේදී ය.

එමාගේ සහෝදරියන් කිහිප දෙනෙකුම සියක් ආයු ලද්දෝ වූහ.

විසිහත් වසරක් පුරා එමාගේ වෛද්‍යවරයා වූ කාලෝ බාවා AFP පුවත් සේවයට පවසා ඇත්තේ ඇය එළවළු හෝ පලතුරු ආහාරයට ගෙන ඇත්තේ ඉතා කලාතුරකින් බවය.

“මට ඇය හමුවනවිට, ඇය දවසකට බිත්තර තුනක් ආහාරයට ගනිමින් සිටියා. උදේට බිත්තර දෙකක් අමුවෙන්. දවල්ට ඔම්ලට් එකක්. රෑට කෑවේ කුකුල් මස්.” යනුවෙන් වෛද්‍ය කාලෝ බාවා ප්‍රකාශ කළේය.

තමන්ට දාව උපන් එකම දරුවා මියගොස් වසරක් අවෑමෙන් සැමියාගෙන් වෙන්වීමට ගත් තීරණය ද දීර්ඝායුෂ ලැබීමට හේතුවූ බව එමා ප්‍රකාශකර තිබිණි.

පළමු ලෝක යුද්ධයට ගොදුරුවී තම පෙම්වතා මරණයට පත්වීමෙන් පසු වෙනත් කෙකෙකු විවාහකර ගැනීම එමා ප්‍රතික්‍ෂේප කළාය.

[rns_reactions]