කවදාවත් හිතලා තියෙනවද ලක්ෂ ගණනක හෝ දහස් ගණනක් වටින ඔරලෝසුවක් පාවිච්චි කරන්න? උත්තරේ ඔව් නම් ඔබ සමහරවිට මේ අපි කියන්නට යන දේ ගැන දන්නවත් ඇති, එහෙත් ඔබේ උත්තරේ නැහැ කියන එක නම් කියන්න තියෙන්නේ ඔබ අනිවා මේ ආටිකල් එක කියවන්න ඕනේ කියලා තමයි.
විටෙක එය තමන්ගේ ජෙත්තුකාරකම, ධනවත් කම පෙන්වන ආභරණයක්, ඒ වගේම විටෙක තමන්ගේ තත්වය සහ සමාජ වටපිටාව උද්දීපනය කරන සංඛේතයක්. මේ ඔක්කොටම කලින් අපිට වෙලාව බලාගන්න පුළුවන් ඔරලෝසුවක්. මෙන්න මේ විදිහට තමන්ගේ ජීවන තත්වය, සමාජ තත්වය පෙන්වන කැඩපතක් විදිහට ඔරලෝසුවක් ගැන අවුරුද්දක් හරි කියන්න පුළුවන් වුනත්, ඔබව ලෙහෙසියෙන්ම රවට්ටන්නත් මේ දිලිසෙන අත්පලඳනයට පුළුවන්කම තියෙනවා.
1. අනුකරණ? ඉතින් එහෙම එව්වට රැවටෙනවද කට්ටිය?
Source – altmedsales.com
රැවටෙනවා විතරක් නෙවෙයි තමන් විහින්ම තමන්ගේ හිත රවට්ටාගෙන ඒවා මිලදී ගැනීමත් කරනවා. ඔබ දන්නවද මේ වෙනකොට ලෝකේ ඔරලෝසු පිළිබඳව අන්තර්ජාලයේ කරන සෙවුම් (search) වලින් 15-30% අතර ප්‍රමාණයක් වෙන් වෙන්නේ මේ මිල අධික ඔරලෝසු වල අනුකරණ (replica) ගැන සොයන්නට බව?
මිල අධික ඔරලෝසු වල අනුකාරක විදියට තනපු වෙනත් ඔරලෝසු මේ වෙනකොට ලොව පුරා ම ගොඩාක් ජනප්‍රිය වෙලා. විශේෂයෙන්ම ආසියාතික රටවල් වල මේ කර්මාන්තය වැඩිපුර ම කෙරෙනවා. නිකම ට මෙහෙම කරලා බලන්නකෝ, ඔයා MC එක ට ගිහින් ඔය ඔරලෝසු තියෙන කඩවල් වලින් පොඩ්ඩක් ජනප්‍රිය වර්ගයේ ඔරලෝසුවක මිල ගණන් අහලා බලන්නකෝ. වෙළඳපොලේ එවැනි ඔරිජිනල් අත් ඔරලෝසුවක මිල ලක්ෂ ගණනක් වුනාට ඔබට පහසුවෙන්ම රුපියල් 5000 සිට 15000 අතර මුදලක් වියදම් කරලා කිසිම වෙනසක් නැති අනුකාරක ඔරලෝසුවක් මිලදී ගන්නට පුළුවන්.
හැබැයි එකක්, මේ ඔබ මිලදී ගන්න රෙප්ලිකා ඔරලෝසුවක් කුමක් හෝ කාර්මික දෝෂයකදී රෙපෙයාර් කරන්නට නම් හිතන්නවත් එපා. මොකද එවැනි සේවයක් ඔබ එම ෆේක් ඔරලෝසු මිලදී ගන්න තැන් වලින් සපයන්නේ නැති නිසා.
මේ ගැන දැනගෙන ඔබ මිලදී ගන්නට කලින් වගකීමේ සහතිකයක් ගැන ඇසුවොත් ඔවුන් එයට කාඩ් පතක් මාස 6 හෝ වසරක කාලයක් දමා ලබා දේවි. එහෙත් ඔබ ඔරලෝසුවක් රැගෙන ගිය තැන ඔවුන් කරන්නේ ඒ අසල තිබෙන ඔරලෝසු සේවා කරන තැනකට දීලා ආපසු ඔරලෝසු හදවලා දෙන එක විතරයි.
මේ නිසා රෙප්ලිකා සල්ලි දීලා අරගෙන ජෙනුවින් සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න එපා!
2. ඔරිම ජිනල් ද? කොහොමද ෆේක්ද නැතිද කියලා හඳුනාගන්නේ?
ඇතුලත කොටස් :
Source – forums.watchuseek.com
එක එක වර්ගයේ ඔරලෝසු හඳුනා ගන්න එක එක විදියේ ක්‍රම තියෙනවා, නිදසුනක් විදියට කා’ටීර්(Cartier) වර්ගයේ ඔරලෝසුවක ෆේක්ද නැතිද කියලා හඳුනා ගන්නට පුළුවන් ක්‍රම කිහිපයක් තිබෙනවා. තියුණු නිමාවකින් යුතු ඩයල් එක, ඇතුලත කොටස් වල Cartier නම කොටා තිබීම, පිටත ආවරණයේ අගනා නිමාව, ආදී කොටස් වලින්.
3. Serial Number
Source – hawaiijewelrybuyers.com
හැම මිල අධික ඔරලෝසුවක් සමගම එයටම වෙන් වූ සීරියල් නොම්මරයක් පැමිණෙනවා. එය එම ඔරලෝසුව සඳහාම නිකුත් කෙරුණු එකක් පමණයි. ඔබ සතුව මිල අධික ඔරලෝසුවක් තිබෙනවා නම් එහි Serial Number1 එක හරහා අදාළ සමාගම එම ඔරලෝසුව සේවා කර ඇති කාලයන් ගැන තොරතුරු ඔබට නොවලහා සපයාවි.
4. සුපිරි නිමාව
Source – watchtime.com
ඔබ ඔරලෝසුවක් ගන්නට හදනවා නම් ඔබ මිලදී ගන්නට සිතා සිටින ඔරලෝසුවේ වර්ගය ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ සෙවුමක් දාලා බලන එක වටිනවා එවිට එහි සුපිරි නිමාව සහ එම ඔරලෝසුවට ම ආවේනික ලක්ෂණ ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැකි වේවි.
නිදසුනක් ලෙසට අපි ඉහතදී කතා කරපු කා’ටීර් (Cartier) වර්ගයේ ඔරලෝසුවල වයින්ඩරයට අල්ලා තිබෙන මැණික් ගල එයට හොඳම උදාහරණයක් වෙනවා.
5. කොහොමද ඔරලෝසුව නිසි පරිදි රැක ගන්නේ?
පිරිසිදු කරනු
Source – wikihow.com
කොහේ හරි ගිහිල්ලා ආපු ගමන් තමන්ගේ ඔරලෝසුව වෙනම රෙදි කෑල්ලකින් සුද්ද පවිත්‍ර කරලා තියෙන එක බොහොම නුවණැති වැඩක්. එයින් එහි කුණු දුහුවිලි රැඳිලා තියෙන එක වලකිනවා.
කාන්දම් වානා
Source – gearpatrol.com
ඕනෙම වර්ගයක ඔරලෝසුවකට කාන්දම් කියන්නේ “වස” වගේ ජාතියක් තමා. එයින් ඔරලෝසුවේ තත්වය වගේම කල්පවත්මත් බොහොම අඩු වෙනවා.
පටිය ලෙදර්ද?
Source – youtube.com
ඔරලෝසුවේ බෙල්ට් එක ලෙදර් වුනොත් ඒකත් ඔරලෝසුවේ ඩයල් සහ වටේ කොටස් පිරිසුදු කරනවා වගේම පිරිසිදු කරන්නට වෙනවා. මොකද සුද්ද කරන්නේ නැතුව තිබ්බොත් එය පුස් කෑමට ලක්වෙන්න පුළුවන්.
වියලිව සතපන්න
Source – amazon.com
ඔරලෝසු කොහේ හෝ තැන්පත් කරනවා නම් කරුණාකරලා වියලි බව රැකෙන පෙට්ටියක, වාතය ඇතුල් නොවෙන ලෙසට ගබඩා කර තබන්න.
වැඩ දන්නවා වුනාට පෙන්නන්න යන්නෙපා.
Source – totalwatchrepair.com
මොනම වෙලාවකවත් ඔබේ ඔරලෝසුව ඔබ විසින් විවෘත කරන්නට යන්නෙපා, ඔබ සතුව ඔරලෝසු කාර්මිකකරණය ගැන දැනුමක් නැති නම්. එය දැනුවත් ඔරලෝසු කාර්මිකයෙකුට ඉතුරු කරන්න.
මේවායින් ඈත්කර තබන්න
Source- cartier.ae
තද හිරු එලියට නිරාවරණය වීම සහ රසායනික ද්‍රව්‍ය වලට විවෘත වීමෙන් වලක්වන්න. ඔරලෝසු කියන්නේ බොහොම සංවේදී කාර්මික නිර්මාණයක්. එහි පැවතීමට නිශ්චිත පරිසරයක ගබඩා කිරීම වැදගත්.
6. පරණ වෙන්න, වෙන්නද වටින්නේ?
Source – watchhunter.org, luxurylaunches.com
සාමාන්‍යයෙන් අපි භාවිතා කරන ඔරලෝසුවක භාවිතාවෙන් පසු එතරම් වටිනා කමක් නො තිබුනත්, මෙම මිල අධික ඔරලෝසු වල මිල කල් යන්න යන්න ඉහල යනවා. මෙයට හේතුව තමයි මේ ඔරලෝසු සියල්ලක් ම පාහේ නිෂ්පාදනය කරන්නේ මිනිස් අතින් (Hand made) වීම. ඒ වගේම මේ සියල්ලම වගේ බොහෝ අවස්ථා වල වෙළඳපොළට එන්නේ සීමා සහිත (Limited Edition) ප්‍රමාණයක් ලෙසයි. මෙන්න මේ සාධකයත් එහි පවතින ඉහල ගණයේ තත්වය, පවත්වාගෙන යන ලොග් සටහන්, සේවා කරන සමාගම සහ අයිතිකරුවන් සතුව පවතින ඔරලෝසුව පිලිබඳ මිල තීරණය කරන්නට හේතුවක් බවට පත් වෙනවා.
ඉතින් මේ හේතු නිසා එවැනි ඔරලෝසුවක් භාවිතා කිරීම ඔබේ සමෘධිමත් ඉතිහාසය ගැන නිහඬව කියාපාන්නක් වෙන බව නම් නොකියා ම බැහැ.
7. ලංකාවේ කොහෙද මේ වගේ සේවා දෙන්නේ?
Source – colomboo.lk, vimeo.com, colomboo.lk, imgleak.com, galleria-lebensart.de, discount365.lk
මෙවැනි ඔරලෝසු වලට විමලධර්ම සහෝදරයෝ සහ සමාගම , Colombo Jewelry Stores , ඩබ්ලිව්. ඒ. ද සිල්වා, Chatham Luxury watches යන සමාගම් සේවා ලබාදෙනවා. මෙයට අමතරව Galleria, Turret වැනි ආයතනත් මේ සේවා ලබා දෙන බව කියන්නට පුළුවන්.
8. ඔරලෝසුවක් මිලදී ගැනීම ආයෝජනයක් ද?
Source – wavestamil.com
ඔබ පිටරටක වෙසෙනවා නම් මේ වාගේ ඔරලෝසුවක් මිලදී ගන්න එක නියත වශයෙන්ම ආයෝජනයක් තමයි. ලංකාවේ රන් ආභරණ බැංකු වල සහ උකස් වෙළඳ සල් වල ගන්නවා වගේ පිටරටවල් වල මෙවැනි අධික වටිනාකමක් ඇති ඔරලෝසුවක් උකස් තබා ඔබට හදිසියකට මුදලක් ගන්න පුළුවන්. ඒ වගේම පැරණි ඔරලෝසු විවිධ වෙන්දේසි වලට ඉදිරිපත් කරලා අධික මිලකට ලංසු ලැබීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. මේ නිසා, ඔව්…! හොඳ ඔරලෝසුවක් කියන්නේ හොඳ ආයෝජනයක් තමයි. ඒ ඔබ පිටරටක වෙසෙනවා නම් පමණයි.
9. ඔබ මිලදී ගන්නවා නම්,
Source – bearwrist.com
ඔබ අලුතින් මෙවැනි ඔරලෝසුවක් මිලදී ගන්නට සිතනවා නම් පාරම්පරික නමක් සහිත එහෙත් නිරතුරුව නව්‍යකරණය වෙන වෙළඳ නාමයකින් යුතු ඔරලෝසු මිලදීගන්න එක බොහොම වැදගත් වෙනවා.
ටැග් හෝයා ( ) කියන්නේ එවැනි ප්‍රචලිත ඔරලෝසු නාමයකට හොඳ උදාහරණයක් ඔවුන් සතුව වසර 150ක ඉතිහාසයක් තිබෙනවා වගේ ම ඔවුන් පාරම්පරික ස්විස් (swiss) ඔරලෝසු කාර්මිකයින් (watchsmith) ද වෙනවා. මෙම ඔරලෝසුවට අමතරව Rado, Rolex, Hublot, Raymond Weil, Patek Philippe, Tissot, Breitling, Omega, Corum, IWC, Longines වැනි වර්ගත් එවැනි සේවා ඉතිහාස පවතින ඔරලෝසු නිෂ්පාදන සමාගම්.
ඒ වගේම අලුතින් වෙළඳ පොලට ආ ඔරලෝසු වර්ගයක් වෙන Seven Friday ඔරලෝසුවත් හොඳ තෝරාගැනීමක් කියලා කියන්නට හැකියි.
10. ඔයා ලොකු වෙලා කෝටිපතියෙක් වුනාම,
Source – evolutioncell.com
අන්න එහෙම කාලෙක ගන්න නම් ඔයාට තියෙන්නේ බොහොම සිමා සහිත ඔරලෝසු ප්‍රමාණයක් තමා ඒවායේ මිල ආරම්භ වෙන්නේ ඩොලර් 500,000 පමණ මට්ටමේ සිටයි. නිදසුනක් විදිහට මේ මුදල වියදම් කරලා ඔබට ගේමක් නැතුව ලැම්බෝර්ගිනියක් මිලදී ගන්නට පුළුවන්.
11. මොනවද ඒ වර්ග? කොහොමද ඒවා ගන්නේ?
Source – bulgari.com
Bulgari, Choprad L.U.C, Maitres du Temps, Christophe, Frank muller එත් මදි නම් George Daniel, MB&F HM4, Audemars Piguet, Jean dunand වගේ වර්ග මිලදී ගන්න ඉතින් ඔබ එක්කෝ මාර්ක් සකර්බර්ග් ගේ දෙවෙනි ළමයා හරි, බිල්ගේට්ස් ගේ බෑණා හරි වෙන්න ම වෙනවා.
12. ඔබෙන් පසුව? වෙන කාටද!!
Source – footage.framepool.com
ඒ වගේම ඔබ මිලදී ගන්නා ඒ ඔරලෝසුව ඔබෙන් පසුව ඉවත් කිරීමේ කිසිම උවමනාවක් වන්නේ නැහැ. නියමිත පරිදි සේවා කර තිබෙනවා නම්, ඔබේ භාවිතයෙන් පසුව ඔබේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට වුනත් මෙවැනි ඔරලෝසු පරම්පරාවෙන් පරම්පරාවට ලබාදෙන්නට පුළුවන්. මෙයට හේතුව වෙන්නේ, අපි ඉහතින් කියූ ඉතා ඉහල තත්වයේ පවතින එම සමාගම් වල අලෙවියෙන් පසු සේවාවයි.