ඇමති රාජිත යළි කට නිසා නසී (වීඩියෝ)

ඇමති රාජිත යළි කට නිසා නසී (වීඩියෝ)
Spread the love

ජනතා විමුක්ති පෙරමුණ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයට යන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යට කර තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ අත්සනින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය මෙසේ ය.

“රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප‍්‍රකාශය අසත්‍යයක්”

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න ඇමතිවරයා අද (06) මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සහගතව කරන ලද නිහීන උත්සාහයක් ය.

එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක්ය.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක‍්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දනියි.

ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප‍්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලිය. ඒ සියලුදෙනාගේ නිහීන ප‍්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන් අපවටා ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

ස්තූතියි,
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,
විජිත හේරත්,
ප්‍රචාරක ලේකම්,
ජනතා විමුක්ති පෙරමුණ.