නිමල් සිරිපාලට ‘ලකුණ’ ප‍්‍රශ්නයක් නැති වුණත් ‘නාමල්ට’ ලකුණ හරිම වැදගත්ලු

නිමල් සිරිපාලට ‘ලකුණ’ ප‍්‍රශ්නයක් නැති වුණත් ‘නාමල්ට’ ලකුණ හරිම වැදගත්ලු
Spread the love

මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන අරමුණ වන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතු කොට මැතිවරණයට ඉදිරිපත්වීම බව අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

ඊයේ මහියංගණයේ පැවැති ජන හමුවකදී මේ බව සඳහන් කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන ලකුණ පිළිබදව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා,

‘දැනට තිබෙන දේශපාලන වාතාවරණ අනුව බොහෝ අය ප්‍රකාශ කරනවා අතෙන් එනවාද ? පුටුවෙන් එනවාද, පොහොට්ටුවෙන් එනවාද කියලා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත්, පොදුජන පෙරමුණ සමගත් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ලකුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ.

අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එක්ව සන්ධාන ගත වෙලා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියළු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සඳහන් කරලා තිබුණා සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා. ඒ බව පුවත් පත් වාර්තා කරලා තිබුණා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ. ඉහළ දේශපාලන නායකත්වය විසින් ඔබ සියලූ දෙනාටම එක්ව එකට එකතු වෙලා ගමේ දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් හදනවා’

මේ අතර ඊයේ පුත්තල ප‍්‍රදේශයේ පැවැති ජන හමුකදී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඉදිරි මහ මැතිවරණයට යන්නේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණින් පමණක් බවයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන. අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව ලකුණින්. සන්ධානය පාර්ලිමේන්තුවට ගිහින් හදනවද ? නැන්තම් පාර්ලිමේන්තුවට යන්න කලින් හදනවද කියලා තීරණය කළ යුතුයි’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.