සජිත් ජනපතිවරණ ව්‍යාපාරයට ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙන’ මිලියන 3800ක් ඇදලා

සජිත් ජනපතිවරණ ව්‍යාපාරයට ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙන’ මිලියන 3800ක් ඇදලා
Spread the love

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සදහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ  මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 1600 ක් ණයකරුවෙකු වී ඇති බවයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ මධ්‍යම සංස්කෘතික අරමුදල භාර ව සිටි  ඇමතිවරයා මෙම මුදල් සිය මැතිවරණ කටයුතු සදහා අනිසි ලෙස යොදවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව ද ඇමති රණතුංග මහතා අවධාරණය කරයි.

රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනාරල්වරයා මෙම කරුණු අනාවරණය කළහ. නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙනි.

ඓතිහාසික දැලිවල කොටවල රජමහා විහාරස්ථානයේ තිබී බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ සිරුර වෙලු බව කියන සිවුරු කොටසක් හමු ව තිබේ. එය වසර 2200 කට වඩා පැරණි බව අනාවරණය වි ඇත.

නව වෙබ් අඩවිය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

අපේ රටට එන සංචාරකයෝවර්ග කීපයක් ඉන්නවා. එක කණ්ඩායමක් එන්නේ අපේ රටේ ලස්සන බලන්න . තවත් කණ්ඩායමක් එන්නේ මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරය කරන්න. තුන්වෙනි පාර්ශවය තමයි ඉතා වැදගත්. ඔවුන් එන්නේ මේ රටේ සංස්කෘතිය විදින්න. පුරාවිද්‍යා ස්ථාන බලන්න. ඒ නිසා  මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සිද්ධස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අපි  ආරම්භ කරනවා. සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

පුරාවිද්‍යා වටිනාකමක් ඇති ආගමික සිද්ධස්ථාන වල වටිනාකම නැති නොවන ආකාරයෙන් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. මේ අනුව සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන අප හදුනාගනිමින් තියෙනවා. එම ස්ථාන සදහා අප විසින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

පහුගිය ආණ්ඩුව අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ගැන නොසලකා හැරියා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක තැන්පතුව සහ රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා භාවිතා කළේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ වගේම අනවශ්‍ය ලෙස පුද්ගලයන් රැකියාවට බදවා ගනිමින් ඔවුන්ට වැටුප් ගෙවීමට මේ අරමුදලේ මුදල් භාවිතා කළ බව වාර්තා වෙනවා. මේ අරමුදල ගොඩ නගලා තිබුණේ අපේ රටේ පුරාවිද්‍යා ස්ථන රැක ගැනීම සදහායි. අපේ ආණ්ඩුව මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා

2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළෙන කොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුවක් තිබුණා. ඒ වගේම සංචිතයේ රුපියල් මිලියන 800 ක් තිබුණා. මේ මුදල් අරමුදලේ අරමුණු වලට පටහැනි කරුණු සදහා හිටපු ආණ්ඩුව යොදවා තිබෙනවා. ඒ වගේම තවත් රුපියල් මිලියන 1600 ක් දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ණයයි. අප මේ සංචිතය ගොඩ නගා තිබුණේ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත් මුදලින්. විදේශීය හා දේශීය සංචාරකයන් මේ පුරාවිද්‍ය ස්ථාන නැරඹීමට යාමෙන් අපිට ලැබුණු මුදලින් නව රජය යටතේ අපිට මේ ණය මුදල වසරක් තුළ ගෙවා දැමීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා. සංචාරක සංවර්ධන අධිකාරියත්, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් අපත් එකතු වී පුරා විද්‍යා ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නවා.