විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප්‍රධාන හේතුව තමයි රූපය ගැන තියෙන අවුල. බොහෝ දෙනෙක් හිතන්නේ විලාසිතා නිරූපණ ක්ෂේත්රයට පිවිසෙන්න ‘ලස්සන ඇඟක්’ ‘ලස්සන මුහුණක්’ ‘කඩවසම් පෙනුමක් තියෙන්න ඕනෑ කියලා.
ඒත් වර්තමානය වන විට ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. වත්මන් නිරූපණ ලෝකයේ ඉහළින්ම ඉන්න බොහෝ දෙනෙක් සම්ප්‍රදායික මිම්මෙන් මැන්නොත් නිරූපණ ක්ෂේත්රයේ ‘හතර මායිමේ’ පස් පාගන්න නොහැකියි කියලා හිතෙන අය. උදාහරණ වශයෙන් ගතහොත් Khoudia Diop, Mehwa Giani Marshall, Ralph Souffrant,Winnie Haelow, Sophia Hadjipanteli, Stephen Thompson ආදීන් දැක්විය හැකියි.
මේ තත්ත්වය තුළ නිරූපණ ක්ෂේත්රයට පිවිසීමට කැමැත්තෙන් සිටියත් ‘අවුලක’ ඉන්න අයටත්, ලෝකයේ ධෛර්යය සම්පන්න මිනිසුන් ගැහැනුන් ගැන කියවන්න කැමැති අයටත් විලාසිතා ලෝකය ජයගත් ඉහත නම් සඳහන් ‘විශිෂ්ඨයින්’ ගැන පොඩි හැඳින්වීමක් කරන්න අපි තීරණය කළා. මේ එහි දෙවැනි කොටස.
Mehwa Giani Marshall
‘ජිආනි මර්ෂල්’ කියන්නේ අද ජාත්‍යන්තර තලයේ නිරූපණ ශිල්පිනියක්. ජාත්‍යන්තර මාධ්‍ය කියන ආකාරයට ඇයගේ රුවින් සැරසුණ සඟරා ගණන 1500කත් අධිකයි. ඒ වගේම තමයි ජාත්‍යන්තර තලයේ ෆැෂන් ෂෝවල ටොප් මොඩල් කෙනෙක් විදිහට තමයි ජිආනිව සැලකෙන්නේ.
අපි පසුගිය දා කතා කළ ‘ක්ලව්ඩියා’ වගේම 24 හැවිරිදි ‘ජිආනි මාර්ෂල්’ කියන්නෙත් සම්ප්‍රදායික මිම්මෙන් නිරූපණ ශිල්පිනයක් වීමට සුදුසුකම් නොතිබූ තරුණියක්. ඒකට හේතුව තමයි තරුණ නව යොවුන් අවධියේ සිට ඇයව පීඩාවට පත් කළ ‘කලූ ලප’ නැති නම් කුරුලෑ.
ජිආනි නව යොවුන් වියේදීම අසාමාන්‍ය ලෙස වර්ධනය වන ‘ලප’වලින් මුහුණ පිරී ගිය යුවතියක්. ඇගේ මුණේ එක දශමයක් නෑර පුංචි පුංචි පැල්ලම් තිබුණා. ඒනිසා ජිආනි පාසල් ගියේ රෙදි කඩකින් මුහුණ වසාගෙන. ඇය කිසිම අවස්ථාවක තමන්ගේ මුහුණ පෙන්නන්න කැමැති වුණේ නැහැ. ඒ වගේම ඒ අසාමාන්‍ය මුහුණ දකින්න කවුරුත් කැමැති වුණෙත් නැහැ.
‘ඒ කාලේ (අදත් ඒ වගේම තමයි) අත් වැරද්දකින් හරි මගේ මුහුණ නිරාවරණය වුණෙත් හැමමෝම මා දිහා බැලූවේ පුදුම සතෙක් දිහා බලන ආකාරයට. ඒ බැල්මෙන්ම කිව නොහැකි තරම් මාව පීඩනයට හා අසහනයට පත් කළා’ ජිආනි අද කියනවා.
ඇය කියන්නේ ඔවුන් තමා දෙස පුදුමයෙන් බැලූවා පමණක් නොව අනෙකාට ද තමාව පෙන්නා සරදම් කළ බවයි.
‘ඔයා හරිම කැතයි. ඔය වගේ මූණක් තියා ගෙන ඔයා කොහොමද ඉන්නේ ?’ ඇතැමුන් තමාගෙන් මූණටම ප්‍රශ්න කළ බව ජිආනි පවසනවා.
ඉතිං… කාලයක් ගියා. ජිආනි යොවුන් වියට පැමිණියා. අනාගතය ගැන සැලසුම් කළ යුතු අවස්ථාව උදා වුණා.
‘මම නිරූපණ ශිල්පිනයක් වෙනවා’ ඇය මාපියන්ට කිව්වා.
ඔවුන් කිසිවක් නොකියා මූණට මූණ බලා ගත්තා. ජිආනි දැන ගත්තා ඔවුන් සිතන දේ. ඒත් ඇය ඒ වන විටත් දැඩි තීරණයක් ගෙන තිබුණා. එය කිසිසේත් වෙනස් නොකරන බව ඇය තමාට ම සහතික වුණා.
‘මම කිසිම දේකින් පසු නොබසින බවට මටම සහතික වුණා’ ඇය පසු කලෙක කිව්වා.
ධෛර්ය හා නොපසුබට උත්සාහය මත ඇය ගමන ආරම්භ කළා.
‘මට මතකයි මගේ මුල්ම ෂූට්එක. මම ඡායාරූප ශිල්පියාට කිව්වා කිසිම විදිහකින් මගේ මුහුණේ තියෙන පැල්ලම් මකා දමන්න එපා කියලා. ඒවා තිබුණ විදිහටම තිබුණාවේ කියලා මම කිව්වා’
ඇය බලාපොරොත්තු වූ දේටත් වඩා හැමදේම යහපත්ව සිදු විය. පළමු නිරූපණයෙන්ම මේ අසාමාන්‍ය යුවතිය ජනතාවගේ හදවත් දිනාගත්තාය.
‘ඒක මම අපේක්ෂා කළාටත් වඩා යහපත් තත්ත්වයක්. මම කියන්නේ තමන්ගේ සිහින දිනාගන්න කායික දුර්වලතා බාධාවක් කර ගන්න එපා. පරිපූර්ණ මිනිසුන් මවනවාට වඩා දෙවියන් වහන්සේ කැමැති අභියෝග මැදින් ජයගත හැකි අඩුපාඩු සහිත මිනිසුන් මවන්න. එවිටයි ලෝකය ලස්සන තැනක් වෙන්නේ’ ජිආනි කියනවා.
ඉතිං… දැන් ඔබට මොකද හිතෙන්නේ ?
Text by Thushadhavi