Hot Plate: නාම යෝජනා අත්සන් කරන්න ආ දුමින්ද පෙනේ පුප්පයි

Hot Plate: නාම යෝජනා අත්සන් කරන්න ආ දුමින්ද පෙනේ පුප්පයි
Spread the love

සටහන – ගජබා නාගහවත්ත

පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය.

“ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය.

“සර් මම නෙළුම් මාවතට යන ගමන්….” ප්‍රසන්න උත්තර දුන්නේය.

“මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න…” මහින්ද ප්‍රසන්නට කීවේය.

“හරි සර්… මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට කථා කළා…” ප්‍රසන්න කීවේය.

ඒ අනුව පහුගිය සදුදා සිට ප්‍රසන්න පැය 24 ම ගත කළේ නෙළුම් මාවතේය. ප්‍රසන්නගේ සහායට ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක්ද  නෙළුම් මාවතේ කාර්යාලයේ සිටියහ. රට තුළ පැතිර යමින් තිබු කොරෝනා වසංගතය හේතුවෙන් මේ සියලු දෙනා වැඩ කළේ මාස්ක් පැළදගෙනය.

ශ්‍රීලනිපය වෙනම තරග කිරීමේ සූදානමක් ගැන ආරංචි

නෙළුම් මාවතේ පහළ කාර්යාලයක පක්ෂ ලේකම් සාගර කාරියවසම් නීතීඥවරු කීප දෙනෙකු සමග නාම යෝජනා පත්‍ර සැකසීමේ නිරතව සිටි අතර බැසිල් නෙළුම් මාවතේ උඩු මහළේ සිය කාමරයේ රැදී සිටිමින් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් නාම යෝජනා ලබා දීමේ දී මතුවන ගැටළු නිරාකරණය කළේය. ප්‍රසන්නට සිදුවුයේ මේ කාර්යාල දෙකටම නිතර යන්නටය. බැසිල් සමග විටෙක විවිධ දිස්ත්‍රික්ක වල නාම යෝජනා ගැටළු විසදීමට එක් වූ ප්‍රසන්න ඉන් අනතුරුව පහළ සාගර කාරියවසම් සමග නාම යෝජනා සැකසීමේ කටයුතු වලට ද දායක වෙමින් සිටියේය.

ශ්‍රී ලනිපයේ සභාපති හිටපු ජනපති මෛත්‍රී නාමයෝජනා අත්සන් කර තිබුණ ද අනෙකුත් දිස්ත්‍රික්ක වල නාම යෝජනා අත්සන් තැබීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළු මතු ව තිබුණි. මේ නිසා ශ්‍රී ලනිපය වෙනම යාමේ සුදානමක් පිළිබද කථාබහක් ආවේ ඔය අතරය. අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්ක වල නාම යෝජනා පිළිබද ගැටළු මතු ව තිබුණි. එම දිස්ත්‍රික්කවලට ශ්‍රිලනිපය ඉල්ලු අපේක්ෂක සංඛ්‍යාව ලබා ගැනීම සදහා දයාසිරි හා දුමින්ද වෙනම සටනක් ආරම්භ කර තිබුණි. මේ අතර අපේක්ෂත්වය නොලැබුණු ජීවන් ඇතුළු පිරිසක් වෙන ම ඉල්ලීමේ සුදානමක් තිබුණි.

දුමින්ද දිසානායක පෙනේ පුප්පයි

මේ අතර පහුගිය අගහරුවාදා  දයාසිරි, දුමින්ද හා වීරකුමාර දිසානායක නෙළුම් මාවත කාර්යාලයට ආවේ නාමයෝජනා අත්සන් කීරිමටය. නව යෝජනා අත්සන් කීරිමට සාගරගේ කාර්යාලයට ගිය දයාසිරි ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කීරීම පසෙක තබා සාගර කාරියවසම්ට දොස් කියන්නට පටන් ගත්හ.

“මේක මහා පුදුම වැඩක්නේ. මොකද මේ අපේ එකගතාවය කඩන්නේ. අර ප්‍රසන්න තැන් තැන්වල අපිව විවේචනය කර කර යනවා. මිනිහගේ කට වහන්න කෙනෙක් නැද්ද? ප්‍රසන්න හිතගෙන ඉන්නේ එයා කවුරු කියලද? මේවා නවත්තන්න වෙයි. නැත්තම් අපි බලා ගන්නම්. ” දුමින්ද මහ හඩින් කීවේය.

සාගර කොතරම් කරුණු කියුවත් එය දුමින්දලා එය පිළිගන්නේම නැත. මේ නිසා සාගරගේ කාර්යාලයේ පිටත සිටි අයට එය දැනුණේ මහා ඝෝෂාවක් ලෙසය.

මේ අතර ඉහළ මාලයේ සිට බැසිල්ට ද මේ සද්දය ඇහුණි. ” ප්‍රසන්න අර මොකද්ද පහළ සද්දෙ කියලා බලන්න….” බැසිල් කීවේ ළග සිටි ප්‍රසන්නටය.

ප්‍රසන්න දැක්ක ගමන් දුමින්ලදාට වුණ දේ

ඒ අනුව ප්‍රසන්න සාගරගේ කාමරයට ආවේ දුමින්දලා බැණ වදින්නේ තමන්ට බව නොදැනය. එකවරම කාමරයට පැමිණි ප්‍රසන්න දුටු දුමින්දලා ද තුෂ්ණිම්භුත විය.

“මොකෝ ඇමතිතුමාලා මේ සද්දේ? කියමින් දුමින්දලා අසළින් වාඩි වු ප්‍රසන්න ” මොකද අත්සන් කරන්නේ නැද්ද?” යැයි ඇහුවේය. දුමින්ද , දයාසිරි මුහුණට මුහුණ බලාගත්ත මිස කිසිවක් කීවේ නැත.

“අත්සන් කරන්න. අත්සන් කරන්න. මේක ජාතික කර්තව්‍යයක්නේ. ප්‍රශ්නයක් තියනවනම් අන්න බැසිල් ඇමතිතුමා ඉන්නවා. එන්න යමු ගිහින් කථා කරමු.” ප්‍රසන්න කිවේය.

දුමින්දලාට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔවුන් පුටුවෙන් නැගිට්ටේය. “යමු. යමු ” ප්‍රසන්න ඉස්සර විය. දයාසිරි හා දුමින්ද බැසිල් සමග සාකච්ඡා කළේ තනිවමය. ප්‍රසන්න එතැනට ගියේ නැත. බැසිල් සමග සාකච්ඡාවෙන් පසු දුමින්දලා පිටව ගියේ නාමයෝජනා අත්සන් නොකරය.

මහින්දට ගම්පහ ඉඩ දී ඉවත් වෙන්න ප්‍රසන්න සූදානම් වෙයි

අගහරුවාදා සවස වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටළුව විසදාගැනීමට බැසිල්ට හැකි විය. ඒ එස්එම්, ෂෙහාන් සහ බැසිල් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ සාකච්ඡාවේ සිටි ප්‍රසන්න සිය හිතවතෙකු මගින් වීරකුමාරට පණිවිඩයක් දි පසුදින නාමයෝජනා අත්සන් කරන්නට එන්නයැ‘යි දැනුම් දුන්නේය. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ගැන ගැටළුවක් පැන නැගී තිබුණි. දයාසිරිලා කුරුණෑගලට ඉල්ලා තිබු  අපේක්ෂක සංඛ්‍යාව ලබා දීමට නම් පොහොට්ටුවෙන් කෙනෙකු ඉවත් විය යුතු විය. මෙය අගමැති මහින්දට දැනගන්නට ලැබුණි.

“මම ජාතික ලැයිස්තුවෙන් එන්නම්. ඔන්න ඕක දීලා දාන්න.” මහින්ද බැසිල්ට කියා තිබුණි. මේ ආරංචිය ප්‍රසන්නට දැනගන්නට ලැබුණි. ඔහු වහා අගමැති මහින්ද ඇමතුවේය.

“සර්… ඒ වැඩේ නම් කරන්න එපා. සර් මේ පාර ඡන්දය ඉල්ලලයි අගමැති වෙන්න ඕන. මිනිස්සු බලාගෙන ඉන්නේ සර්ට ඡන්දය දෙන්න. කුරුණෑගලින් ඉඩ නැත්නම් ගම්පහට එන්න. මම අයින් වෙලා සර්ට ඒ අවස්ථාව දෙන්නම්.” ප්‍රසන්න කීවේය.

“නෑ. නෑ. එහෙම ඕන නෑ. ගම්පහ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔයාව පාර්ලිමේන්තු යවන්න. ” මහින්ද කීවේය.

ගම්පහ ඇපයට තබා අනෙක් දිස්ත්‍රික්කවල අතේ ගැටලු විසදූ හැටි

ප්‍රසන්න බදාදා ගම්පහ නාමයෝජනා භාරදීමට සියල්ල සුදානම් කර තිබුණ ද ඔහු වහා ම එය අවලංගු කළේය. ඒ ගම්පහ ඇපයට තබමින් අනෙකුත් දිස්ත්‍රික්ක වල ශ්‍රිලනිපයේ ගැටළු විසදීමට බැසිල් සමග ප්‍රසන්න එළඹි එකගතාවය නිසාය. කෙසේ වෙතත් බදාදා මධ්‍යම රාත්‍රිය වන විට නාම යෝජනා සියල්ල අවසන් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි විය.

මුලින් විරෝධය පළ කල ද දයාසිරිලා බදාදා උදෑසන නෙළුම් මාවතට පැමිණ නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.

බදාදා මධ්‍යම රාත්‍රියේ ප්‍රසන්න උඩුගම්පළ සිය නිවසට ආවේ පසුදින නාමයෝජනා පත්‍ර භාරදීමට යාම සදහාය. නාම යෝජනා පත්‍රය කොපමණ පරික්ෂා කළත් ඔහුගේ හිතට එය මදි විය. නැවතත් සිය හිතවත් නීතිඥ මහත්වරු කීප දෙනෙක් සමග නාම යෝජනා පත්‍රය පරීක්ෂා කළ ප්‍රසන්න නින්දට ගියේ සුළු දෝෂයක් හෝ නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුවය.

විජිත් විජිත මුණිට සිදු වුණ අවුල

පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න ගම්පහ නාමයෝජනා භාරදීමට ගියේ නිමල් ලාන්සා ඇතුළු පිරිස සමගය. නීතිඥ සරණ, සරල සොහොයුරෝ ද ඒ සමග වූහ. එක්සත් ජාතික පක්ෂය වෙනමත් සජිත්ගේ ජාතික සමගි බලවේගය වෙනමත් ගම්පහට නාමයෝජනා භාරදුන්හ.

ජාතික සමගි බලවේගයේ විජිත් විජිතමුණි සොයිසා දුටු ලාන්සා ‘දැන් මොකද එකතු වෙන්නේ නැද්දයි ?“ යි ඇසුවේය.

‘අපෝ කලබල වෙන්නෙපා. අපේ ආරෝව දියේ ඇන්ද ඉරක් වගෙයි. අපි කට්ටියම වෙලාවට එකතු වෙනවා‘ විජිතමුණි කීවේය.

‘ඔය කිවුවට දෙගොල්ලෝ මුණට මුණවත් බලන්නේ නෑනේ‘ ප්‍රසන්න කියන විට විජිතමුණි හෙමිහිට එතනින් ලිස්සා ගියේය.