තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? – අලුත් මානයක කියවීමක්

තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? – අලුත් මානයක කියවීමක්
Spread the love

කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැකිය.

නව යොවුන් වියෙන් (එනම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයේම මල්වර වීමේ වයසේ සිට) ආරම්භ වන තාරුණ්‍ය නොහොත් යෞවනය වැඩිහිටියෙකු බවට පත්වනතෙක් වූ කාල පරාසය තෙක් ලෙස දැක්විය හැක. එය හැඟීම් බර ශක්තියෙන් යුත් ආශාවන් හා අපේක්ෂාවන්ගෙන් පිරිපුන් බලය හා ධාවකත්වයෙන් යුත් කාල පරිච්ඡේදයක් ලෙස ද දැක්විය හැක.

Loading...

ඉස්ලාමය තාරුණ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට ඇත. උම්මතයේ අනාගත නායකත්වය ඔවුන් තුළින් සැකසෙන අතර ධාර්මිෂ්ඨත්වය තුල රැඳී සිටීමට විශේෂ  ප්‍රයත්නයක නියැලෙන පිරිසක් ලෙස ඔවුන් ව ඉස්ලාමය දකියි. ඔවුන්ව විවිධ මාර්ගයන් වෙත ආකර්ෂණය කරන දෑ බොහොමයක් සමාජය තුල ඇති අතර ඒවායින් වැළකී සාරධර්ම සපිරි සදාචාරාත්මක පිළිවෙතක් තුල රැඳී සිටින්නට ඔවුන්ට විශාල චෛතසික අරගලයක නියැලෙන්නට සිදුව ඇත.

තාරුණ්‍යයේ වැදගත්කම

තාරුණ්‍යයේ වයසින් අඩුකමත් සමග අත්දැකීම් ඌන තාවක් තිබුන ද මිනිසෙකු ජීවිතයේ අත් විඳින  බොහෝ පරීක්ෂණ හා පෙළඹවීම් ආදියට මුහුණ දෙන කාලයක් ලෙස මෙය නම් කළ හැක. එය එසේ වුවද ජීවිතයේ ධෛර්යවන්ත කම, ශක්ති වන්ත කම, වැනි ගුණාංග ඇතිව කටයුතු කරමින් තම ප්‍රජාව වෙත ධනාත්මක හා ගුණාත්මක වෙනස්කම් ස්ථාපනය කිරීමට  කටයුතු කරන්නා බවට තාරුණ්‍යය පත්වෙයි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ නව යෞවනය වෙත ට පිවිසීමත් සමග ඔහු හෝ ඇය මහා කාරුණික අල්ලාහ් ඉදිරියේ තම ක්‍රියාවන් වෙනුවෙන් වගකීම් දරන්නෙකු බවට පත් වීමයි.

විභාගයකට ඉදිරිපත් වන ශිෂ්‍යයෙකු පිලිබඳ ව මොහොතක් සිතන්න. ඔහුගේ ප්‍රශ්න පත්තරයත් සමග එයට පිලිතුරුත් ඔහුට සපයා තිබේනම් ඔහු හෝ ඇය විභාගයෙන් අසමත් විය නොහැක. තම ජීවිත විභාගය නොහොත් පරීක්ෂණය මහා කාරුණික දෙවිඳුන් විසින් මෙලෙසින් සකස් කොට දී තිබිය දීත් යමෙක් එම විභාගය අසමත් වන්නේ නම් ඔහු තරම් අවාසනාවන්ත හා බුද්ධි හීන අයෙකු තවත් සිටිය නොහැක. ඔහුගේ ජීවිත පරීක්ෂණයත් එයින් ජය ලබා ගන්නා මාර්ගයත් ඉස්ලාමය විසින් ඉතා අලංකාර අයුරින් සැමට සපයා දී ඇත.

සැබැවින් ම මහාකාරුණික අල්ලාහ් විසින් මරණින් මතු ජීවිතයේ අසනු ලබන ප්‍රශ්න පත්තරයත් සමග පිළිතුරු ද ලබා දී ඇත. මේවා ඉතා හොඳින් දැන දැනත් ඇතැමුන් අසමත් වීම සිතා බැලිය නොහැකි තරම් අවාසනාවන්ත කමකි. මෙම ප්‍රශ්න හා පිළිතුරු පිලිබඳ ව අවධියෙන් කටයුතු කිරීමට වඩාත්ම සුදුසු කාලය තාරුන්‍යයි. එය ඔහුගේ හෝ ඇයගේ මහා කාරුණික අල්ලාහ් වෙත වූ වගකීමේ ආරම්භක කාලය හේතුවෙන්ම එය වඩාත් වැදගත් වෙයි. අවාසනාවන්තයින්ගේ ලැයිස්තුවේ සාමාජිකයෙකු නොවී ජයග්‍රහණය වෙත යොමු වුවෙකු ලෙස කටයුතු කිරීමේ ආරම්භය තාරුණ්‍යයත් සමග ඇරඹේ.

තාරුණ්‍යය හා ඉස්ලාම්

තාරුණ්‍යය ආශාවන්ගෙන් පිරී ඉතිරෙන කාල පරිච්ඡේදයක් යැයි පැවසීම බොහෝ දුරට නිවැරදිය. මෙම ආශාවන් විවිධ අංශ මත ගොඩනැගී තිබිය හැක. මෙම ආශාවන්ගෙන් බොහොමයක් මහාකාරුණික අල්ලාහ්ගේ මග පෙන්වීමට පටහැනි ඒවා විය හැක. තම චෛතසිකය සමග අරගලයක නියැලෙමින් මෙවන් ආශාවන් පාලනය කර ගනිමින් බියබැතියෙන් යුත් සාරධර්ම සපිරි මාවතක තම ජීවිතය සකසා ගන්නට ගන්නා වූ ප්‍රයත්නය උදෙසා මෙම ජීවිතයේදීත් මතු ජීවිතයේදීත් අති විශාල යහ විපාක මහා කාරුණික අල්ලාහ් විසින් ලබා දෙන බවට සහතික වී ඇත.

මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) විසින් පැවසු බවට අබු හුරෛරා තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය අත්වේවා) වාර්තා කරන පරිදි, මරණින් මතු විනිශ්චය දිනයේදී මහා කාරුණික අල්ලාහ්ගේ සෙවන හැර අන් සෙවනක් නොමැති අවස්ථාවේ හත්දෙනෙකුට අල්ලාහ්ගේ සෙවන ලබාදෙන බව දක්වා ඇත.

ඔවුන් නම්: 1. සාධාරණ හා යුක්ති සහගත පාලකයෙක් 2. මහා කාරුණික අල්ලාහ්ගේ මග පෙන්වීම් අනුව නැමදුමෙහි නියැලී වැඩුණු තරුණයෙක් 3. මස්ජිදය වෙත බැන්දියාවකින් කටයුතු කළ අයෙකු 4. මහා කාරුණික අල්ලාහ් වෙනුවෙන් එකට හමුවී වෙන්වුණු  දෙදෙනෙකු 5. උසස් තරාතිරමක අලංකාර ස්ත්‍රියක් විසින් තමන් ව වැරදි (ලිංගික) සබඳතාවක් වෙනුවෙන් ආරාධනා කළ අවස්ථාවේ “මම අල්ලාහ්ට බිය වෙමි”යි පවසා එය ප්‍රතික්ෂේප කළ තරුණයෙක් 6. ඉතා රහසිගත අයුරින් දන් දෙන තැනැත්තා. එය කෙතරම් රහසිගත දන්දීමක් ද යත් තම එක් අතකට නොදැන අනිත් අතින් දන් දීමයි. 7. අප්‍රසිද්ධ ව දෙවිඳුන් සිහිපත් කොට තම දෑසින් කඳුළු වැගිරූ තැනැත්තා.” (සහිහ් මුස්ලිම් 5:2248)   

තවත් නබි වදනක් අනුව ආදම්ගේ දරුවන්ට ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන තෙක් විනිශ්චය දිනයේදී තම පය ඔසවන්නට නොහැකි වනු ඇතැයි මුහම්මද් තුමාණන් විසින් පවසා ඇත. මින් එක් ප්‍රශ්නයක් නම් තම තාරුණ්‍ය කෙසේ ගත කළේද යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ සෑම මිනිසෙකුම තම තාරුණ්‍ය පිළිබඳ ව කෙතරම් වගකීමකින් හා අවධානයෙන් කටයුතු කළ යුතුද යන්න නොවේද?

මුස්ලිම් පවුලක් (දෙමව්පියන්) විසින් පහත සඳහන් කරුණු තරුණයින් වෙත ඉටුකළ යුතුව ඇත.

  1. යහපත් ආගමික ඇතිදැඩි කිරීමක් හා නිවැරදි මග පෙන්වීමක්
  2. නුතන ලෝකයේ අභියෝගයන්ට සරිලන පරිදි යහපත් අධ්‍යාපනයක් ලබා දීම
  3. යහපත් මානසික වර්ධනයක් සඳහා සුදුසු වූ ධනාත්මක නිවෙස් පරිසරයක්   
  4. ශක්තිමත් ශාරීරික වර්ධනයක් සඳහා වූ යහපත් සෞඛ්‍යමය ජීවන රටාවක්
  5. ශක්තිමත් ආධ්‍යාත්මික වර්ධනයක් සඳහා වූ කුර්ආන් හා සුන්නා පදනම් වූ දැනුම හා අධ්‍යාපන කටයුතු
  6. මුහම්මද් තුමාණන්ගේ හා සහාබාවරුන්ගේ ජීවන චරිතයෙන් දැකගත හැකි අලංකාර පුර්වාදර්ශී දැනුම ලබාදීම

තාරුණ්‍ය වෙත පැවරෙන වගකීම්

  1. තම අධ්‍යාපන කටයුතු ඉතාමත් ම යහපත් අයුරින් කරගෙන යෑම. මෙයට පාසල් අධ්‍යාපනයත් ආගමික අධ්‍යාපනයත් අඩංගු වෙයි.
  2. තමා වෙත පැවරෙන සියළු කටයුතු ඉතාමත්ම උසස් අන්ධමින් ඉටු කිරීම හා සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රමුකයා වීමට හැකි සෑම උත්සාහයක් ම දැරීම .
  3. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව තම ජීවිතය සකස් කර ගැනීම, ඉතා උසස් සාරධර්මයන්ගෙන් හෙබි අයුරින් හා සදාචාර සම්පන්න අයුරු සියළු කටයුතු කිරීම.
  4. තම පවුලට හා සමාජයට උපරිම අයුරින් දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීම. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ව සොයා හැකි සියල්ල ඉටුකර දීම. කුඩා දරුවන් සම්බන්ධයෙන් ඉතා ආදරයෙන් හා සෙනෙහසින් කටයුතු කිරීම.
  5. තමන්ගේ යහළු පිරිස තෝරා ගැනීමේදී ඉතා ප්‍රවේසමින් කටයුතු කිරීම. වැරදි අයෙකු ව මිතුරෙකු ලෙස එකතු කර ගත්තා නම් ඔහුගේ වැරදි ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩි බව අවබෝධ කර ගැනීම.
  6. තම දෙමව්පියන් හා පවුලේ සාමාජිකයින් සම්බන්ධව ඉතා ආදරයෙන් හා වගකීම් සහිත අයුරින් කටයුතු කිරීම.

“ඔහු(අල්ලාහ්) හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනමදිය යුතු යැයි ද දෙමාපියන් සමග ඉතා යහ අයුරින් කටයුතු කළ යුතු යැයි’ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහළු වියට පත්වුයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවූ. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැන නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවූ”. (අල් කුර්ආන් 17:23)   

“අහෝ! රසුල්වරයා(ගේ පිළිවෙත) සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ මාගේ විනාශය! අහවලාව මිත්‍රයෙකු ලෙස නොගන්නට තිබුනා නොවේ ද? (අල් කුර්ආනයෙන් වූ) උපදෙස් මා වෙත පැමිණි පසු ව පවා සැබැවින් ම මොහු මා එයින් නොමග යවා ඇත යැ’යි (තම පාපතර මිතුරා අඟවා)  පවසමින් තම දෑත් සපා ගන්නා (එම විනිශ්චය) දිනය (සිහිපත් කරවූ). තවද ෂෛතාන් මිනිසාට දැඩි ද්‍රෝහියෙකු වන්නේය” (අල් කුර්ආන් 25:27-29)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”. (සුනාන් තිර්මිදී) 

ජයග්‍රාහි උම්මතයක් ගොඩ නැගීම වෙනුවෙන් ධාර්මිෂ්ට, සාරධර්මයන්ගෙන් සපිරි සදාචාර සම්පන්න තාරුණ්‍යයක් සඳහා කැපවී කටයුතු කරමු

Loading...