Covid-19: වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

Covid-19: වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!
Spread the love

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 05 වන කොටස

ශිෂෙක් “Pandemic!” කෘතියේ හතරවන පරිච්ජේදයේදී සමකාලීන අර්බුදය විසින් මතු කෙරෙන මූලධාර්මික ප්‍රශ්න කිහිපයක් වෙත තියුණු විචාරාත්මක බැල්මක් හෙලයි. වත්මන් මොහොත කොතරම් අවිනිශ්චිත වූවක්ද යත්, ඉදිරි අනාගතය සර්ව-අසුබවාදී එකක් වීමට සේම යම් අරුතකින් සුබවාදී වීමටද ඉඩ තිබේ.

කොරෝනා ව්‍යසනයේ දුක් පීඩා මතට සෙසු ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් වෙත මර්දනකාරීත්වය මුදා හරින අන්ත-දක්ෂිණාංශික බලවේගවල තර්ජනයේ සෙවණැල්ලද වැටෙමින් තිබේ. මෑතකදී ඉන්දීය ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පැවසූ පරිදි දාහතර වන සියවසේදී “කළු මරණ” වසංගතයට හේතුව ලෙස ලේබල් කොට යුදෙව් ජනයා සමූල ඝාතනය කළාක් සේ දැන් ඉන්දියාව තුළ මුස්ලිම් ජනයාට එරෙහි ආක්‍රමණික අදහස් ව්‍යාප්ත කෙරෙමින් පවතී.

කොරෝනා වෛරසය “චීන වෛරසයක්” ලෙස නාමකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදය විසින් එක්සත් ජනපදයේ වෙසෙන ආසියාතික ජනයා අනතුරෙහි හෙලනු ලබමින් තිබේ. මේ බහු-විධ අසුබවාදී විය හැකියාවන් ගැන සමකාලීන ප්‍රමුඛතම වාමාංශික මහජන බුද්ධිමතා අපට අනතුරු හඟවයි. 

කොරෝනා වෛරසය “චීන වෛරසයක්” ලෙස නාමකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදය විසින් එක්සත් ජනපදයේ වෙසෙන ආසියාතික ජනයා අනතුරෙහි හෙලනු ලබමින් තිබේ. මේ බහු-විධ අසුබවාදී විය හැකියාවන් ගැන සමකාලීන ප්‍රමුඛතම වාමාංශික මහජන බුද්ධිමතා අපට අනතුරු හඟවයි. 

නමුත්, ඒ සමගම ඔහු අපට පෙන්වන්නේ ඇතැම්විට මේ අර්බුදය ගෝලීය ධනවාදයේ පැවැත්ම වෙත එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක්ද විය හැකි බවයි. සරලව කිව හොත්, කොරෝනා අර්බුදයෙන් පෙන්නුම් කරන්නේ ගෝලීය ධනවාදයට තව දුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යා නොහැකි බවය. කුමන හෝ රැඩිකල් පරිවර්තනයක් අවශ්‍ය වේ. (මේ සැබවින්ම කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර සිටම ශිෂෙක් ඔහුගේ මෑතකාලීන කෘතීන් කිහිපයක් තුළම අවධාරණය කරමින් සිටි කාරණයකි). 

මෙවර ඔහුගේ මැදිහත්වීමේ ඇති වැදගත් දේශපාලන ගම්‍යතාවක් වන්නේ ඔහු අර්බුදය ඉදිරියේ ඉතාම සංයුක්ත සහ ඒත්තු යන සුළු යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කිරීමයි. එම යෝජනා පදනම් වන්නේ ගෝලීය සහයෝගීතාව සහ සම්බන්ධීකරණය පිළිබඳව ඔහු කලක පටන් ඉදිරිපත් කරමින් තිබූ මූලධර්ම මතය. ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් පිළිබඳ ඔහුගේ යෝජනාව බර්නි සැන්ඩර්ස් එක්සත් ජනපදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට වඩා ඔබ්බෙන් යන්නකි.

එසේම ශිෂෙක් අර්බුදයේ නිමේෂය තුළට ඉක්මණින් මැදිහත් වන්නේ ආර්ථික ලිබරල්වාදීන්ගේ දැක්මෙන් මෙම නිමේෂය රාමුගත කිරීමට කිසිදු ඉඩ නොලැබෙන පරිදිය. ඔහු වාමාංශික දැක්මෙන් සමකාලීන අනිශ්චිත මොහොත රාමුගත කරන අතරම දේශපාලන ලිබරල්වාදීන් හටද ඒත්තු යන සුළු ආකාරයෙන් “සීමිත කොමියුනිස්ට්වාදය” පිළිබඳ ඔහුගේ අදහස ඉදිරිපත් කරයි. මෙය ග්‍රාම්ස්චියානු අරුතින් කදිම ප්‍රති-හෙජමොනික මැදිහත්වීමක් යැයි කිව හැකිය.                 

හතරවන පරිච්ජේදය 
වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

වත්මන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය විසින් දෘෂ්ටිවාදී වෛරසයන්ගේ සුවිසල් වසංගතයක්ද බිහි කරනු ලැබ තිබේ. එම වෛරසයන් අපගේ සමාජ තුළ මෙතෙක් නිද්‍රාගතව පැවති ඒවාය. එනම් ව්‍යාජ පුවත්, භීතිකාමය කුමන්ත්‍රණ න්‍යායන්, වර්ගවාදයේ පුපුරා යාම් යනාදියයි. නිරෝධානය සඳහා ඇත්තේ යුක්ති යුක්ත වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවකි; නමුත්, දැන් එහි දෝංකාරය දේශ සීමා ස්ථාපිත කිරීම සඳහාත් අපගේ අනන්‍යතාවට තර්ජනයක් එල්ල කරන සතුරන් නිරෝධානය කිරීම සඳහාත් ඇති දෘෂ්ටිවාදී වුවමනාකම් තුළද නින්නාද නැංවේ.  

කෙසේ වුවත්, ඇතැම්විට වඩාත් වැඩදායක වෙනත් දෘෂ්ටිවාදී වෛරසයක්ද ඉදිරියේදී අපට ආසාදනය වෙතැයි අපේක්ෂා කළ හැකිය. එනම් විකල්ප සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි; ජාතික-රාජ්‍යයට ඔබ්බෙන් වූ සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි; ගෝලීය සහයෝගීතාවේ හා අන්තර්-බැඳියාවේ රාමුව තුළ යථාර්ථයක් බවට පත් වන සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි.

කොරෝනා වෛරසය චීනයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීම දෙසට දිශානත වනු ඇතැයි පැතිරුණු අනුමාන කිරීමක් තිබේ. ඒ හරියට මිහයීල් ගොර්බචොෆ්ම පිළිගත් පරිදි චර්නොබීල් ඛේදවාචකය සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමට හේතු  සාධක වූවාක් සේමය

මිහයීල් ගොර්බචොෆ්

කොරෝනා වෛරසය චීනයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීම දෙසට දිශානත වනු ඇතැයි පැතිරුණු අනුමාන කිරීමක් තිබේ. ඒ හරියට මිහයීල් ගොර්බචොෆ්ම පිළිගත් පරිදි චර්නොබීල් ඛේදවාචකය සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමට හේතු  සාධක වූවාක් සේමය. නමුත්, මෙහි පරස්පරතාවක්ද තිබේ. කොරෝනා වෛරසය ඇතැම්විට ජනතාව සහ විද්‍යාව පිළිබඳ විශ්වාසය මත පදනම් වූ කොමියුනිස්ට්වාදයක් නැවත සොයා ගන්නටද අපට බල කරනු ඇත. 

ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill දෙවන පිටපත” නම් චිත්‍රපටයේ අවසන් දර්ශනය තුළ මෙවන් ජවනිකාවක් තිබේ. බියට්‍රික්ස් දුෂ්ට කිල් බිල්ව අඩපණ කොට ඔහුට සටන් කලාවේ ඇති මාරාන්තිකම පහර එල්ල කරයි: එය “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” ලෙස හැඳින්වේ.

මේ ප්‍රහාරයේදී සිදු වන්නේ ඇඟිලි තුඩුවලින් තම ප්‍රතිමල්ලවයාගේ සිරුරේ නිල පහක් එක විට තෙරපීමය. පහර කෑ තැනැත්තා පියවර පහක් ඉදිරියට ඇවිද ගිය විට ඔහුගේ ශරීරය තුළ හෘදය පිපිරී බිම ඇද වැටේ. මේ ප්‍රහාරය සටන් කලා මිත්‍යාවේදයේ අංගයක් වුවද සැබවින්ම අතින් පයින් සටන් කිරීමේදී එවැන්නක් විය නොහැකිය. කෙසේ වුවද, මෙම චිත්‍රපටය තුළ බියට්‍රික්ස් මේ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව බිල් සංසුන්ව ඇය සමග සමාදාන වී පියවර පහක් ඇවිද ගොස් මරණයට පත් වේ.                 

මේ ප්‍රහාරයේ චිත්තාකර්ෂණීය දෙය වන්නේ පහර කෑමට ලක් වූ මොහොතත් මරණයේ මොහොතත් අතරමැද කාලයයි. මා සංසුන්ව හිඳගෙන සිටින තාක් කල් මා හට සුහද පිළිසඳරක නිරත විය හැකිය; නමුත්, මා ඇවිදින්නට පටන් ගත් විට මගේ හදවත පුපුරා යන බව ඒ පිළිසඳර පුරාම මා දැනුවත්ය.

චීන නායකත්වයට සංසුන්ව හිඳගෙන, අවට නිරීක්ෂණය කරමින් නිරෝධානයේ සාමාන්‍ය ක්‍රියාවලිය ගෙන යා හැකිය. නමුත්, ඔවුන් සමාජ පර්යායෙහි ඇති කරන සෑම සැබෑ වෙනසක්ම (නිදසුනක් ලෙස ජනතාව විශ්වාස කිරීමට පටන් ගැනීම) ඔවුනගේ බිඳ වැටීමට හේතු භූත වනු ඇත.      

කොරෝනා වසංගතය චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය බිඳ වැටීමට හේතු වනු ඇතැයි අනුමාන කරන අයවළුන්ගේ අදහසින් හැඟවෙන්නේ එය චීන කොමියුනිස්ට් බලාධිකාරයට “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” මගින් එල්ල වූ ප්‍රහාරයක් ලෙස ක්‍රියා කරන්නේය යන්න නොවේද? චීන නායකත්වයට සංසුන්ව හිඳගෙන, අවට නිරීක්ෂණය කරමින් නිරෝධානයේ සාමාන්‍ය ක්‍රියාවලිය ගෙන යා හැකිය. නමුත්, ඔවුන් සමාජ පර්යායෙහි ඇති කරන සෑම සැබෑ වෙනසක්ම (නිදසුනක් ලෙස ජනතාව විශ්වාස කිරීමට පටන් ගැනීම) ඔවුනගේ බිඳ වැටීමට හේතු භූත වනු ඇත.      

ඉන්පසුව ශිෂෙක් පවසන්නේ මේ පිළිබඳව ඔහුගේ මධ්‍යස්ත මතය පවා මීට වඩා ඉතාම රැඩිකල් වූවක් බවයි. එනම්, කොරෝනා වසංගතය වනාහී ගෝලීය ධනවාදී ක්‍රමයටම “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” ඔස්සේ එල්ල වූ ප්‍රහාරයක් බවයි. එය අප මේ දක්වා පැමිණි ආකාරයට අපට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවට සංඥාවකි; රැඩිකල් වෙනසක් අවශ්‍ය බවට සංඥාවකි.

වසර ගණනාවකට පෙර ෆ්‍රෙඩ්රික් ජෙම්සන් අවධානය යොමු කළ කාරණයක් ශිෂෙක් මෙහිදී සිහි ගන්වයි. ඇස්ටරොයිඩයක් විසින් මිහි මත ජීවයේ පැවැත්ම තර්ජනයට ලක් කිරීම හෝ වෛරසයක් විසින් මානව වර්ගයා මුළුමනින්ම විනාශ කොට දැමීම වැනි විශ්වීය ව්‍යසනයක් පිළිබඳව කියැවෙන චිත්‍රපට තුළ පවත්නා යුතෝපියානු ශක්‍යතාව ගැන ජෙම්සන් සඳහන් කළේය. එවන් විශ්වීය තර්ජනයක් විසින් ගෝලීය සහයෝගීතාවක් ජනනය කෙරෙනු ඇත. අප එකිනෙකා අතර ඇති මෝඩ වෙනස්කම් නොවැදගත් වී යනු ඇත. අප සියලු දෙනාම විසඳුමක් සෙවීමට එකාවන්ව වැඩ කරනු ඇත. ඉදින්, අප අද දිනයේ අපගේ සැබෑ ජීවිතය තුළ සිටින්නේද එවන් තැනකය.       

මෙයින් අදහස් වන්නේ පුළුල්ව පැතිරුණු මිනිසුන්ගේ දුක් පීඩාවන් අපගේ අරමුණ කරා යාමට උපකාරී වන තාක් කල් අප පරපීඩාකාමුක ආකාරයෙන් ඒවා ගැන සතුටු විය යුතු බව නොවේ. ඊට ප්‍රතිවිරුද්ධව, අප කළ යුත්තේ අප ජීවත් වන සමාජයේ මූලික පැතිමාන ගැන නැවත සිතා බැලීම සඳහා අපට ව්‍යසනයක්ම අවශ්‍ය වනවා නොවේද යන කණගාටුදායක කාරණය මෙනෙහි කිරීමයි. 

මෙහිදී ශිෂෙක් ඔහු අදහස් කරන ආකාරයේ ගෝලීය සම්බන්ධීකරණයක් පිළිබඳ නොපැහැදිලි ආකෘතියක් ලෙස හඳුනා ගන්නේ සුපුරුදු නිලබලවාදී දෙඩවිලි වෙනුවට භීතියකින් තොරව නිශ්චිත අනතුරු හැඟවීම් අප හට ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයයි. එවන් සංවිධානවලට වැඩි විධායක බලයක් ලබා දිය යුතු යැයි ඔහු යෝජනා කරයි.

එක්සත් ජනපද ජනාධිපතිධූර අපේක්ෂක බර්නි සැන්ඩර්ස් එරට සියළු පුරවැසියන්ට සෞඛ්‍ය සේවය ලබා දිය යුතු යැයි පැවසූ විට ඇතැමුන් ඔහුව උපහාසයට ලක් කළ බව සිහිපත් කරන ශිෂෙක් මෙලෙස විමසයි: කොරෝනා වසංගතයේ පාඩම වන්නේ අපට ඊටත් වඩා දෙයක් අවශ්‍ය බව නොවේද? අප කිසියම් ආකාරයක ගෝලීය සෞඛ්‍ය සේවා ජාලයක් ගැන කල්පනා කිරීම ආරම්භ කළ යුතු බව නොවේද?                    

ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි

ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි ජනමාධ්‍ය හමුවක පෙනී සිටිමින් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම අඩු තක්සේරු කරමින් මහජනයා නිරෝධානය කිරීම අත්‍යවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය. නමුත්, ඉන් දිනකට පසුව ඔහු තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවත් තමන් හුදෙකලාව සිටින බවත් කෙටි නිවේදනයකින් දැනුම් දුන්නේය (ඔහුගේ රූපවාහිනී පෙනී සිටීම අතරතුරදීත් ඔහු උණ රෝගයේ සහ දුබලතාවයේ ලකුණු ප්‍රකට කළේය). හරිර්චි තම නිවේදනයට මෙසේද එක් කළේය: “මේ වෛරසය ප්‍රජාතාන්ත්‍රිකය. එය දුප්පතුන් සහ පොහොසතුන් අතර වෙනස නොතකයි; රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සාමාන්‍ය ජනයා අතර වෙනස නොතකයි.”

මේ කාරණයේදී ඔහු ගැඹුරු ලෙසම නිවැරදි යැයි ශිෂෙක් පවසයි. දැන් අප සියල්ලන්ම සිටින්නේ එකම බෝට්ටුවකය. ඒ අතරම මෙහිදී මග හැර යා නොහැකි සුපිරිතම සරදමක්ද ඇතැයි ඔහු සඳහන් කරයි. එනම්, අප සියලු දෙනාම එකට එක් කොට අප අතර ගෝලීය සහයෝගීතාවක් වර්ධනය කරන්නා වූ දෙයම අපගේ දෛනික ජීවිතය තුළදී අපට නියෝග කරන්නේ එකිනෙකාට සමීප නොවන ලෙසත් ස්වයං-හුදෙකලාවේ සිටින ලෙසත් වීමයි. 

එසේම අප හමුවේ ඇති එකම තර්ජනය කොරෝනා වෛරසය පමණක් නොවේ. තවත් ව්‍යසනයන් නෙත ගැටෙන මානයේ ඇත. නියඟයන්, ග්‍රීෂ්ම කාලයන්, මාරාන්තික කුණාටු යනාදී ලෙස මේ ලැයිස්තුව තවත් දීර්ඝය. මේ කිසිවකට විසඳුම වන්නේ භීතියට පත් වීම නොවේ. ඒ වෙනුවට කිසියම් ආකාරයක කාර්යක්ෂම ගෝලීය සම්බන්ධීකරණයක් පිහිටුවා ගැනීම සඳහා ඉක්මනින් හා තදබල ලෙස වැඩෙහි නිරත වීමය.

අප මෙහිදී අත් හළ යුතු පළමු මායාව වන්නේ මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ඉන්දීය සංචාරයේදී ප්‍රකාශ කළ දෙයයි. එනම් වසංගතය ඉක්මනින් අඩු වී යනු ඇති අතර අප කළ යුත්තේ එතෙක් බලා සිටීම යැයි ඔහු පැවසීය; ඉන්පසුව ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇත. චීනය දැනටමත් මේ මොහොත සඳහා සූදානම් වෙමින් සිටී. වසංගතය අවසන් වූ පසුව මෙතෙක් අතපසු වූ වැඩ සම්පූර්ණ කිරීම සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනවලද වැඩ කළ යුතු යැයි චීන මාධ්‍ය ජනතාවට නිවේදනය කළේය.          

මේ සුව පහසු බලාපොරොත්තුවට වෙනස්ව අප පිළි ගත යුතු වැදගත් කාරණය වන්නේ තර්ජනය තවත් කාලයක් පවතිනු ඇති බවයි. වත්මන් රැල්ල බැස ගියද එය ඇතැම්විට වඩාත් භයානක ආකාරයකින් යළි මතු වන සෙයකි. කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබුවා යැයි ප්‍රකාශයට පත් කරන ලද ඇතැමුන්ට නැවත එය ආසාදනය වී තිබේය යන කාරණය මේ පිළිබඳව අනතුරු හඟවන සංඥාවකි.   

ඉහත හේතුව නිසා මේ වෛරසමය වසංගතය අප සෙසු මිනිසුන් සමගත් අප වටා ඇති දේ සමගත්  පවත්වන මූලික අන්තර්-ක්‍රියා කෙරෙහි බලපානු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. අපගේම ශරීරය සමග කරන අන්තර්-ක්‍රියාද එයට අයත්ය. මෙය සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඇති උපදෙස් අති මහත්ය. 

“ඇතැම්විට අදෘශ්‍යමානව වුවත් අපවිත්‍ර වී තිබෙන දේ අල්ලන්න එපා; අතන මෙතන අල්ලන්න එපා; පොදු වැසිකිළි මත හිඳ ගන්න එපා; පොදු ස්ථානවල ඇති බංකුවල හිඳ ගන්න එපා; අන් අයව වැළඳ එපා; ඔවුනට අතට අත දෙන්න එපා…සහ විශේෂයෙන්ම ඔබ ඔබේම ශරීරය පාලනය කරන ආකාරය ගැනත් ප්‍රවේසම් වන්න; ඔබේම නිරායාස ඉරියව් ගැන ප්‍රවේසම් වන්න; ඔබේ නාසය අල්ලන්නට හෝ ඇස් පිස දමන්නට එපා; කෙටියෙන් කිවහොත්, ඔබේ ශරීරය සමග ක්‍රීඩා කරන්නට එපා…”                    

ඉදින්, අපව පාලනය කරන්නට බලාපොරොත්තු වන්නේ රාජ්‍යය හෝ සෙසු ආයතන පමණක් නොවේ. අපව පාලනය කර ගන්නට සහ විනයගත කර ගන්නට අපම ඉගෙන ගත යුතුය. ඇතැම්විට ආරක්‍ෂිත යැයි සලකනු ඇත්තේ සයිබර් යථාර්තය පමණි. එසේම විවෘත අවකාශයේ නිදහසේ ඔබිනොබ යාම ධන කුවේරයන් සතු දූපත්වලට පමණක් සීමා වනු ඇත.

නමුත්, මෙහිදී පවා, එනම් සයිබර් යථාර්තයේ සහ අන්තර්ජාලයේ තලය තුළ පවා අප සිහි තබා ගත යුතු කාරණයක් නම් පසුගිය දශක කිහිපයේදී “වෛරස” සහ “වෛරසීය” වැනි යෙදුම් බොහෝ විට භාවිත වූයේ අපගේ වෙබ් අවකාශයට ආසාදනය වන ඩිජිටල් වෛරස හැඳින්වීම සඳහා බවය. එම වෛරසවල විනාශකාරී බලය මුදා හරින තෙක් (නිදසුනක් ලෙස ඒවා අපගේ පරිගණක දෘඩාංග තුළ ඇති දත්ත විනාශ කර දමන තෙක්) අපි ඒවා ගැන නොදැන සිටිමු. දැන් අප හමුවේ දෘෂ්‍යමාන වන්නේ වෛරසය යන යෙදුමේ ප්‍රාරම්භක වචනාර්ථය දැවැන්ත ලෙස යළිත් අප කරා පැමිණීමකි. වෛරසීය ආසාදන සැබෑ සහ අතථ්‍ය යන මානයන් දෙක තුළම අත් වැල් පටලාගෙන යයි.          

අපට නිරීක්ෂණය කළ හැකි තවත් අරුම පුදුම ප්‍රපංචයක් නම් ධනවාදී ප්‍රාණවාදයේ විජයග්‍රාහී පුනරාගමනයයි. මෙයින් අදහස් වන්නේ වෙළඳපල සහ මූල්‍ය ප්‍රාග්ධනය වැනි සමාජ ප්‍රපංචයන් ජීවමාන ඉන්ද්‍රියන් ලෙසින් සැලකීමයි. ඔබ අපගේ ප්‍රධාන මාධ්‍යවල වෙත අවධානය යොමු කළහොත් ඔබට එන හැඟීම මෙබඳුය: අප සැබවින්ම කණගාටු විය යුත්තේ දැනටමත් මිය ගිය හෝ මිය යාමට ඉඩ තිබෙන දහස් ගණනක් මිනිසුන් ගැන නොවේ; ඒ වෙනුවට, “වෙළඳපල කැළඹීමට පත් වෙමින් තිබේය” යන කාරණය ගැනයි.

කොරෝනා වෛරසය අන් කවර කලෙකවත් නොවූ විරූ ආකාරයෙන් ලෝක වෙළඳපලේ මෘදු ක්‍රියාකාරීත්වයට බාධා කරමින් තිබීම ගැනයි. මේ සියල්ලෙන් පැහැදිලිව සංඥා කෙරෙන්නේ වෙළඳපල යාන්ත්‍රණයන් මත තව දුරටත් රඳා නොපවතින පරිද්දෙන් ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ හදිසි අවශ්‍යතාව නොවේද?             

අප මේ කතා කරන්නේ පැරණි මාදිලියේ කොමියුනිස්ට්වාදයක් ගැන නොවේ. සැබවින්ම, ආර්ථිකය පාලනය කිරීමට සහ නියාමනය කිරීමට හැකියාව ඇති කිසියම් ආකාරයක ගෝලීය සංවිධානයක් පිළිබඳවය; අවශ්‍ය වූ විට එයට ජාතික-රාජ්‍යයන්ගේ පරමාධිපති බලය සීමා කිරීමටද හැකි විය යුතුය. මින් පෙර රටවල්වලට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ යුදමය තත්ත්වයක් තුළදීය; අපද දැන් බරපතල ලෙස ඇතුල් වෙමින් සිටින්නේ වෛද්‍ය විද්‍යාත්මක යුද්ධයක් තුළටය. මේ වසංගතයේ ඇතැම් වාසි සහගත අතුරු පලයන් ගැන සඳහන් කිරීමට අප බිය නොවිය යුතුය.           
කොරෝනා වසංගතයේ දිගු කල් පවතින සංකේතයක් වන්නේ විශාල නෞකා තුළ සිරවී නිරෝධානය වන මගීන්ය. හුදෙකලා දූපත් වෙතට හෝ නිවාඩු නිකේත වෙතට සංචාරය කිරීම යළිත් වරක් ධනවතුන් සුළුතරයකගේ වරප්‍රසාදයක් බවට සීමා නොකරන්නට (දශක ගණනාවකට පෙර ගුවන් ගමන්වල යෙදිය හැකි වූයේද ඔවුනට පමණි) අප ප්‍රවේසම් විය යුතු වන අතරම, ඉහත කී ආකාරයේ නෞකාවල අශ්ශීලත්වය හොඳ ප්‍රහේළිකාවක් යැයිද මම කියමි.

කොරෝනා වසංගතයේ දිගු කල් පවතින සංකේතයක් වන්නේ විශාල නෞකා තුළ සිරවී නිරෝධානය වන මගීන්ය.

විනෝද උයන් දැන් අවතාරමය නගර බවට හැරෙමින් තිබේ. එය කදිමය. මට ඩිස්නිලන්තය තරම් එපා කරවන සුළු සහ මෝඩ ස්ථානයක් ගැන සිතා ගත නොහැකිය. මෝටර් රථ නිෂ්පාදනයට බරපතල හානි සිදුව තිබේ. හොඳයි, මෙය පුද්ගලික යාන වාහන පිළිබඳ අපගේ උමතුවට විකල්ප මොනවාදැයි සිතීමට අපට බල කරනු ඇත. මේ ලැයිස්තුව තවත් දිගුය.          

මෑතකදී හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බන් මෙලෙස පැවසීය: “ලිබරල්වාදියෙකු යනුවෙන් දෙයක් පවතින්නේ නැත. ලිබරල්වාදියෙකු යනු ඩිප්ලෝමාවක් සහිත කොමියුනිස්ට්වාදියෙකුට වඩා වැඩි යමක් නොවේ.”

මෙහි ප්‍රතිවිරුද්ධ දේ සත්‍යය විය නොහැකිද? අප අපගේ නිදහස ගැන සැලකිලිමත් වන අයව ලිබරලුන් යයි හඳුන්වන්නේ යැයි සිතමු; එසේම ගෝලීය ධනවාදය අර්බුදයක් කරා ගමන් කරන බැවින් අපට අපගේ නිදහස ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තන ඇති කිරීමෙන් පමණක් බවට දැනුවත් අයව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වන්නේ යැයි සිතමු.

එසේ නම්, අද දිනයේ තවමත් අපව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වා ගනිමින් සිටින අප වනාහී ඩිප්ලෝමාවක් සහිත ලිබරලුන් බව පැවසිය යුතුව ඇත. එනම්, අපගේ ලිබරල් වටිනාකම් තර්ජනයට ලක්ව ඇත්තේ මන්දැයි බරපතලව අධ්‍යයනය කොට ඇත්තා වූද, ඒවා ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තනයකින් පමණක් බව අවබෝධ කර ගෙන ඇත්තා වූද ලිබරලුන්ය. 


පරිවර්තනය: සුමිත් චාමින්ද  

පරිවර්තනය: සුමිත් චාමින්ද