Hot Plate: පන්දාහේ දීමනාවට කටුව ගැහුවේ කවුද ? ප්‍රසන්න හෙළි කරයි

Hot Plate: පන්දාහේ දීමනාවට කටුව ගැහුවේ කවුද ? ප්‍රසන්න හෙළි කරයි
Spread the love

සටහන – ගජබා නාගහවත්ත

ගෙවි ගිය සතිය පුරාම ආණ්ඩු පාර්ශවය වැඩි අවධානය යොමු  කෙරුනේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබදවය. ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් ජනාධිපති කොමිසමේ සභාපති බැසිලුත් පසුගිය සතිය පුරා විවිධ පාක්ෂිකයන්, සංවිධාන, ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාල තීන්දු තීරණ ගත්හ.

අගමැති මහින්ද මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන් මුණ ගැහුනේ ඒ අනුවය. ඒ පසුගිය අගහරුවාදාය. රූපලාවන්‍ය, කොණ්ඩා සැකසුම්, ඡායාරූප ශිල්පීන්, විඩියෝ කැමරාකරණ ශිල්පීන්, උත්සව ශාලා හිමියන්, අහාර සපයන්නන් ඇතුළු  ලක්ෂ 04කට ආසන්න පිරිසක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමිව පීඩාවට පත්ව ඇතැයි ඔවුහු ඇමතිවරයාට පෙන්වා දුන්හ.

අපි හැම දෙයක්ම කරන්නේ ජනතාව වෙනුවෙන්

“ඔයාලා විතරක් නෙමෙයි. හුග දෙනෙක් මේ කොරෝනා වසංගතය නිසා අමාරුවෙ වැටිලා ඉන්නේ. අපි මේ හැමදෙයක්ම කරන්නේ ඔයාලා හැමෝම හැම ක්ෂේත්‍රයකට අය පත්වෙලා ඉන්න තත්තවයෙන් ගොඩගන්න තමයි“. මහින්ද කීවේය.

“ රට මේ වෙලාවේ ක්‍රමානුකුලව විවෘත කරමින් ඉන්නේ. හැබැයි අපි මේ හැමදෙයක්ම කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව. ඒ නිසා මම මේ ගැන සෞඛ්‍ය අංශ වල අවධානය යොමු කරලා ගයිඩ් ලයින් එකක් ගන්නම්“  අගමැති මහින්ද කීවේය.

වසර 30ක් රට පීඩාවට පත් කල කොටි ත්‍රස්තවාදය රටින් තුරන් කර මේ වන විට වසර 11ක් ගතව තිබේ. පසුගිය යහපාලන කාලය තුළදී මෙම යුද ජයග්‍රහණය සැමරීම අත්හිටුවා තිබූ අතර එය දැඩි ලෙස විවේඡනයට ලක් විය. නමුත් වත්මන් ආණ්ඩුව මේ යුධ ජයග්‍රහණය පුරුදු පරිදි සැමරීමට කටයුතු කලද කොරෝනා වසංගතය තත්ත්වයට ඊට හරස් විය. එහෙත් ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් කීවේ රණවිරුවන් සිහිපත් කිරීම මොනතරම් හේතුවක් නිසා හෝ අවලංගු කිරීමට නොහැකි බවය. ඒ අනුව පසුගිය අගහරුවාදා සවස බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී රණවිරු උපහාර උත්සවය පැවැත්වුණි.

ගෝඨා ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැටි

මෙම රණවිරු සමරුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවුනේ මුහුණ ආවරණයක් නොමැතිව වීම විශේෂත්වයකි. කොරෝනා වසංගතය පාලනය කර ඇති  බවට ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමට එය හේතුවී තිබුණි.

රණවිරු සැමරුමේ උත්සවය අමතමින් ජනාධිපිති ගෝඨාභය කළ කථාවද මෙහිදී සියලු දෙනාගේ ඇගයීමට ලක් වුණි. ඔහු කීවේ රටට පැරණි ජගත් සංවිධාන වලින් ඉවත් වීමට පසුබට නොවන බවයි.

මෙම සැමරුමට යුධ සමයේ ආරක්ෂක අංශවල සිටි සියළුම ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී වූවද හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් සහභාගී වී සිටියේ නැත. මේ පිළිබදව හමුදාපති ගවේන්ද්‍ර සිල්වා මහතාගෙන් මාධ්‍යවේදීන් හමුව කළ විමසුමකදී ඔහු කීවේ සරත් ෆොන්සේකා මහතාට ආරාධාන කළද ඔහුට කලින් යොදාගත් වැඩක් තිබූ නිසා ඊට සහභාගී නොවූ බවය.

ප්‍රසන්නට කෝටියක් වැඩ

මේ අතර ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය අගහරුවාදා සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සපයන්නන් මුණ ගැසුනේ රට නැවත යථා තත්ත්වයට පත් කිරමේ වැඩපිළවෙල යටතේය. සංචාරක ව්‍යාපාරය යලි නංවාලීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රසන්නට අවශ්‍යව තිබිණි.

“ අපි දැන් යන එන මක් නැතිවයි ඉන්නේ. රෙස්ටුරන්ට් වහලා දාලා නිසා ඒවාගේ සේවය කරන අයට පඩිවත් ගෙවා ගන්න බැරි තත්ත්වයට අපව පත්වෙලා. අපි කියන්නේ ඉක්මනින් මේ රෙස්ටුරන්ට් විවෘත කරන්න කියලා“ කොළඹ හෝටල් හා ආපනශාලා හිමියන් ප්‍රසන්නට දුක කීහ.

ඇමති ප්‍රසන්න ඒ මොහොතේම වසංගත රෝග විද්‍යා අංශයේ පබා පලිහවඩනට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ඩෝක්ටර් කමිටුවේ අනුමැතිය අරන් අපිට ඉක්මනින් රෙස්ටුරන්ට් ටික විවෘත කරන්න ගයිඩ් ලයින්ස් ටිකක් දෙන්න. ගයිඩ් ලයින්ස් දුන්නොත් අපිට ලබන සතිය වන විට රෙස්ටුරන්ට් අරඹන්න පුළුවන්.“ ප්‍රසන්න පබාට කීවේය.

“අපි රෙස්ටුරන්ට් ටික අරින්න සෞඛ්‍ය එකෙන් ගයිඩ් ලියින් අරන් දෙන්නම්. හැබැයි මතක තියාගන්න එක රෙස්ටුරන්ට් එකක් හරි හෙලත් ගයිඩ් ලයින්ස් කඩ කලොත් ඒක හැමෝටම බලපානවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.“ ප්‍රසන්න හෝටල් හිමිහියන්ට හා ආපනශාලාවන්ට කීවේය.

ප්‍රසන්නට සම්බන්ධීකරණ වැඩක් පවරයි

පසුගිය බදාදා ජනපති ගෝඨාභයගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී ද මේ ගැන සාකච්ඡා විය. කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු කෙරුනේද රට විවෘත කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනය.

“ සර්. හෝටල් හිමිහියන් වගේම ආපනශාලා හිමියෝත් කියවන්නේ මේ හෝටල් ආපනශාලා ඉක්මනින් විවෘත කරලා දෙන්න කියලයි.“ ප්‍රසන්න කීවේය.

“ ඔව්, ඒකනම් ඇත්ත තමයි. හැබැයි ඉතිං සෞඛ්‍ය අංශ කියන දෙයක් තමයි කරන්න වෙන්නේ.“ ජනපති ගෝඨාභය කීවේය.

“ ඔව් සර් මම ඒ ගැන ඒ අයත් එක්ක කථා කලා. කමිටුවේ අවධානය යොමු කරන්නම් කිව්වා.“ ප්‍රසන්න කීවේය.

“එහෙනම් හෙල්ත් එකත් එක්ක ඔයා ඒක සම්බන්ධීකරණය කරන්න“ ගෝඨා ප්‍රසන්නට උපදෙස් දුන්නේය.

මේක ෂුවර් එකටම  ගේම් එකක්

එදින කැබිනට් මණ්ඩලයට, රජය රුපියල් 5000 දීමනාවක් ජූනි මාසයේදී ලබා නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වයා ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබූ ලිපියක්ද ඉදිරිපත් කෙරුණි.

“ අපි මේ රුපියල් 5000 දීමනවා දෙන්න කටයුතු කලේ ජනතාවට සහනයක් විදියට. කෝවිඩ්  පාලනය කලත් රට තාමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වෙලා නෑ. එහෙම තත්ත්වයක් යටතේ ජනතාවට මේ දීමනාව හරි ලොකු දෙයක්.“ අගමැති මහින්ද කීවේය.

“ ඔව් මේ වෙලාවේ ජනතාව බලාගන්න එක අපේ වගකීම.“ ජනපති ගෝඨාභය කීවේය.

“ ඕක ෂුවර් එකටම JVP, UNP උවමනාව. මොකද මේ අයට ලොකු වුවමනාවක් තිබුනා අපි මේ රුපියල් 5000 දෙන එක නවත්තන්න“ ඇමති ප්‍රසන්න කීවේය.

“ UNP එකයි JVP එකයි කියන්නෙ නම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කියලා. සමහර මන්ත්‍රීවරු කිව්වා රු 5000 මදි රුපියල් 15000ක් දෙන්න කියලා. එහෙම කියන ගමන් මේ අය ජනතාවට දෙන රු 5000 තවත්තන්න යටින් වැඩ කරනවා.“ ඇමති බන්දුල කීවේය.

“ UNP එකයි JVP එකයි හැමදාම කලේ ජනතාවට අංචි අදින එක තමයි.“ ඇමති ප්‍රසන්න කීවේය.

මේ පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජූනි මාසය සදහා රුපියල් 5000 දීමනාව ලබා නොදීමට  කැබිනට් මණ්ඩල තීරණය කලේය.

දැනුවත් කරමු – අපි යලිත් නැගිටුමු

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කීරම සදහා ආණ්ඩුවගත් ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට එම පෙරමුණ තීරණය කර තිබේ. වැඩ සටහන නම් කර ඇත්තේ ගම “දැනුවත් කරමු – අපි යලිත් නැගිටුමු“ ලෙසය. සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශ අනුව මෙම රැස්වීම් මාලාව සංවිධානය කිරීමටද නියමිතය.

රැස්වීම් මාලාව පිළිබදව දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් දැනුවත් කීරීමේ රැස්වීම් මාලාවක් ද පැවැත්වීමට පක්ෂය කටයුතු යොදා තිබේ. එම රැස්වීම් මාලාවේ පළමු වන්න පසුගිය බදාදා පැවැත්වූයේ ගම්පහ උඩුගම්පොල පිහිටි ප්‍රසන්නගේ කාර්යාලයේය. එම රැස්වීමට පැමිණි සියලු දෙනාම රැස්වීම් ශාලාවට ඇතුලත් කෙරුනේ විෂබීජානුහරණය කිරීමෙන් පසුවය. අසුන් පනවා තිබුනේද මීටරයක දුර ආරක්ෂා වන විදියටය. පැමිණ සිටි පිරිසට ප්‍රසන්න කීවේ කොරෝනා පාලනය කලද කොරෝනා සමග ජීවත් වීමට දැන් ලෝකයටම සිදුව ඇති බවයි.

සටහන – ගජබා නාගහවත්ත