මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය.
මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන බව මහින්ද දේශප්‍රිය මහතා කීය.
මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය.
මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.