රට ගොඩනැගීමට මට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න – ජනපති

රට ගොඩනැගීමට මට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න – ජනපති
Spread the love

පැල්පත් ජීවිතයෙන් පීඩා විඳිමින් සිටි තමන්ට මහල් නිවාස දුන්නා සේ මත් උවදුර රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස ජනතාව ජනපතිගෙන් ඉල්ලති.

 මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා පාසල් දරුවාගේ සිට වැඩිමහලා දක්වා ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබේ. මෙය  තමන් මුහුණපා ඇති බරපතළ ගැටළුවක් බව මට්ටක්කුලිය ප්‍රදේශවාසීහූ පවසති. එය තුරන් කළ හැකි නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තමන් දැඩි විශ්වාසයෙන් පසුවන බව ඔව්හු කියා සිටිති.

පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (09) පස්වරුවේ කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට්ටක්කුලිය කාක දූපතේ පැවති ජන හමුවට එක් වු අවස්ථාවේදී  ජනතාව එසේ ප්‍රකාශ කළහ. අනුර ප්‍රනාන්දු මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

ඉතිරිව ඇති පැල්පත් ද ඉවත් කොට නිවාස ඉදිකර දෙන්නැයි ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 2015 දී නතර වූ සංවර්ධනය යළි ඇරඹීමට ශක්තිමත් රජයක් ලබාදෙන ලෙස රජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා කොළඹ, හයිඩ්පිටියේ සහ හිටපු රජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා විහාරමහා දේවි උද්‍යානයේ  සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය. පසුබෑමට ලක්ව ඇති රට සංවර්ධනය කරා ගෙන යමින් දැයේ දරුවන්ට සුරක්ෂිත රටක් ගොඩනගා දෙන්නැයි ජනතාව ජනාධිපතිවරයාට කියා සිටියහ.

රට ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තමාට දෙන්නැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නාරාහේන්පිට දාඹරේ මාවතේ සහ සරත් වීරසේකර මහතා දෙමටගොඩ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවලට එක්වූ ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට පැවසීය.

කොළාන්නාව ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට අඩුවක්ව පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ධනාත්මක ප්‍රතිචාරය පළ විය. අජිත් සුබසිංහ මහතා කොළොන්නාව ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේ මේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණ.

ජනාධිපතිවරයා සමග ඡායාරූපයක් ගැනීමට අවස්ථාව දෙන්නැයි  පිළිකා රෝගයෙන් පීඩා විඳින කුඩා දැරියක් කළ ඉල්ලීම ද ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලැබීය. ඇය සමග ඡායාරූපයකට පෙනී සිටී ජනාධිපතිවරයා දැරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

උදය ගම්මන්පිල මහතා බත්තරමුල්ල, දියත උයන ඉදිරිපිට සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා බුද්ධදාස ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරුන් ද ජන හමුවලට එක්ව සිටියහ.