දරුවෙකුගේ ජීවත්වීමේ අයිතිය ගැන දුක හිතෙන කතාවක්..

Spread the love

මාස හයක කාලයක් පුරා, ලන්ඩනයේ ඔර්මොන්ඩ් වීදියේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාලි ගාර්ඩ් ළදරුවා පිළිබඳව දැන් ලොවම කතා කරන්නට පටන් ගෙන ඇත. ඒ, චාලි වෙත ලබා දී තිබූ ජීවිතාධාරක උපකරණ ගැලවිය යුතු බවට එරට අධිකරණය සහ රෝහල් බලධාරීන් ඉකුත් සතියේ දී තීරණය කිරීමත් සමගිනි.
චාලි ගාර්ඩ් ළදරුවා ඉකුත් 2016 අගෝස්තු මස 4 දා ලන්ඩනයේ දී උපත ලබන්නේ, සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙසිනි. එහෙත් නිරෝගී සාමාන්‍ය දරුවෙකු ලෙසින් වැඩෙන්නට ෙදෙවය ඔහුට ඉඩ දෙන්නේ මාස දෙකක් පමණ කෙටි කාලයක් පමණි. උපත ලබා ඉතා කෙටි කලකින්, ශරීර බර සහ ශක්තිය සීඝ්‍රයෙන් හීන වීමත් සමග ඔහුගේ වර්ධන වේගය ඉතා පහළ වැටෙන්නට පටන් ගෙන තිබේ. තවමත් මාස අටක් පමණක් වයසැති සිය ජීවිතයෙන් මාස හයක කාලයක් ම රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුළ, පැය විසිහතරක් පුරා ජීවිතාධාරකයකින් පණ නල රැකගන්නට ඔහුට සිදු වී ඇත්තේ ඒ අනුවය.

චාලි ගාර්ඩ් ගොදුරු වී සිටියේ ශරීරයේ මයිටොකොන්ඩ්රියා ක්ෂය වීමේ තත්ත්වයකටය. මයිටොකොන්ඩ්රියා යනු, ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ කාර්යයන් හා ශරීර ශක්තිය වර්ධනය කිරීමට බලපාන සෛල වේ. ඒවා ක්ෂය වීමත් සමග ක්‍රමයෙන් ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හීන වන්නට පටන් ගනී. මේ හේතුවෙන් චාලිගේ මාංශ පේශිවලට හා මොළයට ද හානිදායක තත්ත්වයක් ඇති වී තිබේ.

එහෙත් සිය ආදරණීය ළදරුවා පිළිබඳව පුංචි හෝ බලා‍පොරොත්තුවක් තිබුණේ නම්, එය ද සුන් කර ගන්නට චාලිගේ දෙමව්පියන්ට සිදු වූයේ, චාලිගේ ජීවිතාධාරක උපකරණ තවදුරටත් ඔහුට ලබා දීමෙන් ඵලක් නොවන බව රෝහල් බලධාරීන් සහ අධිකරණය තීරණය කිරීමත් සමගිනි. එහෙත් ඔවුන් සිය උත්සාහය අත්හැරපු බවක් නම් පෙනෙන්නට නැත. දරුවාගේ දෙමාපියන් වන කොනී යේට්ස් සහ ක්‍රිස් ගාර්ඩ් පවසන්නේ, තම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගෙන යාම අවශ්‍ය බවය. එමෙන්ම මහාධිකරණය ගත් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට ඔවුහු සූදානම් වෙති. ඔවුන් බටහිර ලන්ඩනයේ ඉහළ අධිකරණයට පවසා ඇත්තේ, තම දරුවාගේ ජීවිතය රැක ගන්නට තවත් එක් අවස්ථාවක් ලබා දෙන ලෙසය.

කෙසේ වෙතත් මේ සම්බන්ධ අභියාචනය ඉදිරිපත් කිරීමට තවත් සති දෙකක කාලයක් ඉතිරිව ඇත. රෝහල් බලධාරීන් පවසන්නේ, අභියාචනා තීන්දුව දෙන තෙක් දරුවාට නොකඩවා ම ජීවිතාධාරක ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා බවයි. එය චාලිගේ දෙමාපියන්ට සුබ ආරංචියක් වනවාට සැකයක් නැත.

මේ අතර දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙනත් රටකට ගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා වැය වන මුදල් සොයා දීම සඳහා අරමුදලක් පිහිටුවීමට ද එරට ජනතාව කටයුතු කරමින් සිටින්නේ චාලි ගාර්ඩ් ළදරුවාගේ ගැටලුව මුළු රටේම ගැටලුවක් බව ලෝකයාට පසක් කරවමිනි.

[rns_reactions]