නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක්

නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක්
Spread the love

මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය.

2020 ජාතික මවුකිරි දීමේ සතිය පසුගිය අගෝස්තු 01 සිට 07 දක්වා පැවැත් වුණා. මෙවර එහි තේමාව වුණේ ‘මවුකිරි දීම ප්‍රවර්ධනය කර නිරෝගී දැයක් බිහි කරමු‘ යන්නයි.

මවුකිරි දීමේ සතිය කොතරම් වැදගත් වුණත් මහ මැතිවරණ උණුසුම නිසා ඒ ගැන කිසිම අවධානයක් යොමු කිරීමට අපටත් හැකියාව ලැබුණේ නැහැ. ඒත් අපේ දැඩි විශ්වාසය වන්නේ මවුකිරි දීම අත්‍යවශ්‍ය බවත් එය තව දුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවයි. ඒ හා සම්බන්ධයෙන් අපට කිසිදු තර්කයක් නැහැ.

ජාතික මවුකිරි දීමේ සතිය පසුවී දිනයකට පසුව (08) අපි මවුකිරි දීම සම්බන්ධයෙන් විශේෂඥ ලිපි දෙකක් පළ කිරීමට තීරණය කළා. විශේෂයෙන් කොවිඩ් වසංගත අවධානම සමග මේ විශේෂඥ ලිපි අතිෂයින් වැදගත් බවයි අපගේ අදහස වන්නේ.

අපි මෙම ලිපිය උපුටා ගත්තේ ලෝකයේ අතිෂය ජනප්‍රිය වෙබ් අඩවියක් වන ඉන්දීය ‘ෆෙමිනා‘ වෙබ් අඩවියෙන්. එනිසා මෙහි යම් ආකාරයක ඉන්දීය ලක්ෂණ තිබිය හැකියි. ඒත් එය මේ ලිපියේ අන්තර්ගතයට හා දැනුමට අභියෝගයක් නොවන බව අපගේ විශ්වාසයයි.

සාර්ථකව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස්

කොරෝනා වසංගතය මධ්‍යයේ මාතෘත්වය වැළඳ ගන්නා නව මව්වරුන්ට ආයුබෝවන් . ඔබේ දරුවාට මව්කිරි දීම ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක් ලබා දීමට අපි සූදානම්. ඒත් ඔබ බොහෝ දෙනෙක් මේ වන විට මවුකිරි දීම ගැන බොහෝ අත්දැකීම් ඇති කාන්තාවන් විය හැකියි. ඒ වගේම ඒහා සම්බන්ධයෙන් ඔබට ඔබේ මවගෙන්, නැන්දනියගෙන් හෝ ඥාතිවරියකගෙන්, පවුලේ වෛද්‍යවරයාගෙන් බොහෝ උපදෙස් ලැබී තිබිය හැකියි.

ඒත් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ අපේ සමාජය, මවුවරුන් මීට පෙර මුහුණ නොදුන් කොවිඩ් අවධානම සමග මවුකිරි ලබාදීම සිදුකරන්නේ කෙසේද යන්න කෙරෙහි නිසා අපි කියන්න යන දේ තුළ ඔබ නොදැන සිටි අලුත් දැනුම තිබිය හැකියි.

ඔබට මේ විශේෂඥ උපදෙස් ලබා දෙන්නේ බැංගලෝරයේ ෆෝටිස් රෝහලේ මවුකිරි දීම සම්බන්ධ විශේෂඥ උපදේශක ජොයිස් ජයසීලන්. ඔහු මවුකිරි දීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අත්දැකීම් ලබා ඇති විශේෂඥයෙක්.

මව්කිරි දීම

“මව්කිරි දීම දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සහ නිසි පෝෂණය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. මව්කිරි දීම කැපවීමක් වන අතර, කාර්යබහුල කාලසටහනක් ඇති මව්වරුන්ට එය අභියෝගයක් විය හැකියි. දැනටමත් ඔබ ඔබේ බිළිදාට නියමිත පරිදි මවුකිරි ලබාදෙමින් ඔහු මනාව පෝෂණය කරනවා විය හැකියි. ඒත් තවත් සමහරුන්ට එය අභියෝගාත්මක, වෙහෙසකර හෝ නීරස කාර්යයක් විය හැකියි.

ඒත් පහත සදහන් උපදෙස් නිසි පරිදි වටහා ගෙන ක්‍රියාත්මක කළහොත් ඔබට මවුකිරි දීම බොහොම තෘප්තිමත්… ආදරණීය කාර්යයක් විය හැකියි.

1. සන්සුන් වන්න
මව්කිරි මුදා හැරීමට ශරීරයේ ස්වාභාවික හැකියාවට මානසික ආතතිය බාධාවක් වන බව මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. එමනිසා බිළිදාට මවුකිරි ලබාදීම සඳහා නිහඩ ස්ථානයක් සොයා ගැනීම සුදුසුයි. අවශ්‍ය නම්, ඔබට ලිහිල් සංගීතයට සවන් දිය හැකි අතර, සන්සුන් යමක් වෙත (චිත්‍රයක්, පරිසරය ආදි) ඔබේ අවධානය යොමු කළ හැකිය. 

2. ඉල්ලුමට අනුව
ඔබේ දරුවාට මව්කිරි දෙන තරමට මවුකිරි කිරි වැඩි වන බව මතක තබා ගන්න. මේ අනුව නිතර නිතර ඔබේ දරුවාට මව්කිරි දීම උත්සාහ කිරීම සුදුසුය. සමහර අවස්ථාවල, ඔබට පෙර සැලසුම් කළ හැකි කාලසටහනක් තිබිය හැකිය‍. 

විශේෂයෙන් ඔබ රැකියාවකට යන අතර තුර ඔබේ බිළිදා වෙනත් කිසිවෙකු විසින් බලා ගන්නේ නම් මේ තත්ත්වය ඇතිවිය හැකිය. එමනිසා, රැකබලා ගැනීමේ අවසාන පැය තුළ ඔබේ දරුවාට පෝෂණය කිරීමෙන් වළකින ලෙස ඔබේ දරුවාගේ රැකබලා ගන්නන්ගෙන් ඉල්ලා සිටීම සුදුසුය. ඔබ රැකියාවෙන් පැමිණි විගසම ඔබේ දරුවාට මව්කිරි දීමට මෙය ඔබට ඉඩ සලසයි.

3. බොහෝ විට හා ඵලදායී ලෙස කිරි පොවන්න
ඔබ වැඩි වැඩියෙන් මවුකිරි ලබා දෙන තරමට මවුකිරි කිරි නිපදවීමට ඉඩ ඇත. සමහර වේලාවට, ඔබට කාර්යබහුල වැඩ කාලසටහනක් තිබිය හැකිය. එවිට, කාර්යබහුල කාලසටහන තුළ සෑම පැය කිහිපයකට මිනිත්තු 15 ක් මවුකිරි පෙවීමට උත්සාහ කළ හැකිය. ඔබේ ද්විත්ව පියයුරු මගින් කිරි නිෂ්පාදනය කරන බැවින් පියයුරු දෙකම එකවර භාවිත කිරීම සුදුසුය. දොවාගත් මව්කිරි පැය 6-8 අතර කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. මෙසේ දොවාගත් මවුකිරි බිළිදාට පෙවීමේදී බෝතල් භාවිත කිරීමෙන් වළකින්න, ඒ වෙනුවට කෝප්පයක් සහ හැන්දක් භාවිතා කරන්න.

මව්කිරි දීම

4. දියර වර්ග බොන්න
මවුකිරි දෙන නිසා ඔබ සජලීව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබව පහසුවෙන් විජලනය කළ හැකි සෝඩා, කෝපි සහ අනෙකුත් කැෆේන් සහිත බීම සීමා කිරීමට වග බලා ගන්න. අධික ලෙස කැෆේන් පානය කිරීම ගැටලු රැසකට තුඩු දිය හැකි අතර ඔබේ දරුවාගේ නින්දට බාධා කරයි. සමහර අවස්ථාවලදී, ඔබ ඉඳහිට මත්පැන් පානය කිරීමට තෝරා ගන්නේ නම්, පැය දෙකක් ගතවන තෙක් මව්කිරි දීමෙන් වැළකී සිටීම තරයේ නිර්දේශ කෙරේ.

5. දුම් පානය නොකරන්න
දුම් පානයෙන් ඔබේ කිරි සැපයුම අඩු වන අතර ඔබේ කිරිවල රසයද වෙනස් වේ. එය ඔබේ දරුවාගේ නින්දට බාධා කළ හැකිය. තවද, ශ්වසන රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බැවින් දුම් පානය නොසලකා හරින්න. ඔබ දුම් පානය කරන්නේ නම්, පුරුද්දෙන් ඉවත් වීමට ඔබට උපකාරී වන ක්‍රම සඳහා ඔබේ වෛද්‍ය වෘත්තිකයාගෙන් විමසන්න. මේ අතර, දරුවාට කිරි පෙවීමට පෙර හෝ අතරතුර දුම්පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම සුදුසුය.

මව්කිරි දීම

6. ඔබ ගැන හොඳින් සැලකිලිමත් වන්න
නිසි ආහාර වේලක් සමස්ත යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. එමනිසා, පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න. මීට අමතරව, ඔබේ දෛනික චර්යාවට ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළත් කළ හැකිය. හොඳ ආහාර වේලක් සහ ව්‍යායා හැරුණු විට, ඔබේ දරුවා නිදා සිටින විට ඔබත් නිදා ගැනීමට වග බලා ගන්න.

මවුකිරි ලබාදීම උපත් පාලනයක් නොවේ

මේ සමග ඔබ තවත් වැදගත් කරුණක් ගැනත් අවධානය යොමු කළ යුතුය. ඒ අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීමක් වළක්වා ගැනීමයි. ඒ අනුව මවුකිරි ලබා දෙන සමයේදී ඔබ නිවැරදි හා විශ්වාසනීය උපත් පාලන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. එය තරයේ නිර්දේශ කෙරේ. 

මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය.

“මව්කිරි දීම අභියෝගයක් මෙන්ම කැපවීමකි. ඔබේ කිරි සැපයුම නඩත්තු කිරීමේදී ඔබට ගැටලුවක් තිබේ නම් හෝ කිරි නිෂ්පාදනයේ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්නේ නම්, ඔබේ වෛද්‍ය වෘත්තිකයා හමුවී වැඩිදුර මඟ පෙන්වීම ලබා ගන්න” යනුවෙන් ජයසීලන් වැඩි දුරටත් කරයි. 

ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාර වල්ගම