කොවිඩ් බලපෑමෙන් ‘කාන්තාවන් අතර සියදිවි නසා ගැනීම්’ ඉහළ ගිහින්ද ?

කොවිඩ් බලපෑමෙන් ‘කාන්තාවන් අතර සියදිවි නසා ගැනීම්’ ඉහළ ගිහින්ද ?
Spread the love

ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා නිරවද්‍යව සහ කඩිනමින් දිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ ජපානයයි.

සෑම මසකම අවසානයේ දී ඔවුහු ඒ පිළිබඳ දත්ත යාවත්කාලීන කරති. වෙනත් බොහෝ රටවල එවැන්නක් දැකිය නොහැකිය. කොවිඩ් වසංගත සමය ඇතුළත ලැබී ඇති දත්තවලින් කියැවෙන කතාන්තරය සිත කලබල කරවන සුළුය.

2020 දී ජපානයේ දිවිනසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ජපානයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වූයේ වසර 11කට පසුව ප්‍රථම වතාවටය.

ජපානයේ නවතම දත්ත විශ්ලේෂණය කර බලද්දී වඩාත් පුදුමය දනවන කාරණයක් වන්නේ දිවි නසාගත් පුරුෂයන්ගේ ගණන තරමක් පහළ බැස තිබිය දී, දිවිනසාගත් කාන්තාවන්ගේ ගණන 15%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමය.

මේවසරේ ඔක්තෝම්බර් මාසය ඇතුළත පමණක් සිදුවී ඇති කාන්තා දිවිනසා ගැනීම් ප්‍රමාණය, පසුගිය වසරේ ඔක්තෝම්බරයේ සිදුවූ කාන්තා දිවිනසා ගැනීම් සමඟ සංසන්දනය කළහොත් එය 70%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

සිදු වන්නේ කුමක්ද? කොවිඩ් වසංගතය පිරිමින්ට වඩා ගැහැණුන්ට පීඩා ගෙනදෙන බවක් පෙනෙන්නට ඇත්තේ ඇයි?

අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගතය ඇතැමුන්ට සංවේදී විය හැක.

තම ජීවිතය නසා ගැනීමට කීප වතාවක් ම උත්සාහ කළ තරුණ කාන්තාවක මුහුණට මුහුණ හමුවී කතාබහ කරන්නට ලැබීම හිතට වදදෙන අත්දැකීමක් විය. දිවිනසා ගැනීම් වලක්වාලීම තම රාජකාරිය කරගත් පුද්ගලයන් කෙරෙහි අලුත් ගරුත්වයක් මා තුළ ඇති වූයේ ඉන් අනතුරුවය.

Bond Project යනු දිවිනසා ගැනීම් වලක්වාලීම සඳහා පවත්වාගෙන යන ආධාර ආයතනයකි. එහි කාර්යාලයක් යොකොහාමා නගරයේ ‘රෙඩ් ලයිට්’ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලැබේ. බොහෝ රටවල ‘රෙඩ් ලයිට්’ දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන්නේ ලිංගික සේවා ලබාදීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතන වැඩි වශයෙන් පවතින හෝ ලිංගික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගැවසෙන කලාපයයි.

මම Bond Project කාර්යාලය තුළ වාඩි ලා සිටිමි. මේසය ඉදිරිපස ඇති අසුනේ සිටින්නේ 19 වියැති යුවතියකි. කොණ්ඩය කොටට කපා සිටින ඇය නිසොල්මන් ය.

ඇයගේ කතාව මා ඉදිරියේ දිග හරින්නට ඇය පටන් ගත්තාය. ඉතා හෙමින් කතා කරන නමුත් ඒ හඬේ කිසිදු හැඟීම්බර බවක් නොවීය.

සියල්ල ආරම්භ වන විට ඇය පහළොස් වියැති ය. ඇයගේ වැඩිමල් සොහොයුරා අතින් සැහැසි ලෙස අපයෝජනයට ලක් වන්නට පටන් ගත්තේ ඒ අවධියේදී ය. අවසානයේ ඇය නිවසින් පලා ගියාය. නමුත් ඒ වේදනාව සහ තනිකම ඉන් නිමා වූයේ නැත.

ඉන් ගැලවීමට ඇති එකම මග දිවි තොර කර ගැනීම යැයි ඇය සිතුවාය.

“පසුගිය කාලය ඇතුළත කීපවතාවක් ම මාව රෝහල්ගත කළා.” ඇය පැවසුවාය.

“මම වාර ගණනාවක් ම දිවිනසා ගන්න උත්සාහ කළා. ඒ එක වතාවක්වත් සාර්ථක කර ගන්න බැරි වුණා. ඒ නිසා මම හිතනවා මැරෙන්න උත්සාහ කරන එක මම දැන් අතෑරලා දාල කියල.”

ඇය එසේ සිතන්නට පටන් ගෙන ඇත්තේ Bond Project ඇයගේ ජීවිතයට මැදිහත් වීමෙන් අනතුරුවය. ඔවුහු, ඇයට ජීවත්වීමට ආරක්‍ෂිත ස්ථානයක් සොයා දුන්හ. කඩිනම් උපදේශන සේවා ලබා දුන්හ.

Bond Project ආයතනය ආරම්භ කරන ලද්දේ ජුන් ටචිබානා විසිනි. සර්ව ශුභවාදී, ශක්තිමත් අදහස් ඇති ඇය 40 වියැති ය.

Jun Tachibana
පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් ටචිබානා සිහිපත් කළාය

“ගැහැණු ළමයිට ප්‍රශ්නයක් ඇතිවුනාම, වේදනාවක් දැනුනම ඔවුන්ට හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියල. අපි ඉන්නවා ඔවුන්ට ඇහුම්කන් දෙන්න සුදානමින්. අපි ඉන්නවා, ‘අපි ඔබ සමඟ ඉන්නවා’ කියල ඔවුන්ට කියන්න.” ජුන් ටචිබානා පැවසුවාය.

මේ වන විටත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින අය කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා අනතුරුදායක තත්ත්වයකට තල්ලු වී ඇති බව ඇය පවසන්නීය.

පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් සිහිපත් කළාය.

“අපිට නිතරම අහන්න ලැබෙන්නේ ‘මට මැරෙන්න ඕන’, ‘මට යන්න තැනක් නැහැ’ වගේ දේවල් තමයි. ඔවුන් කියනවා ‘මම ඉන්නේ හරිම වේදනාවකින්, මට ලොකු තනිකමක් දැනෙනවා, මට අතුරුදහන් වෙන්න ඕන’ කියල.”

ශාරීරික පීඩා හෝ ලිංගික පීඩාවන්ට ලක්වන කාන්තාවන්ගේ තත්ත්වය, කොවිඩ් වසංගතය හේතුවෙන් තවත් දරුණු අතට හැරී තිබේ.

“මට දවසක් කතා කරපු ගැහැණු ළමයෙක් කිව්වේ එයාගේ තාත්තගෙන් ලිංගික හිරිහැර සිදු වෙනවා කියල. කොවිඩ් නිසා තාත්ත වැඩට යන්නේ නැහැ, ඒ නිසා එයාට ගැලවීමක් නැහැ.” ජුන් විස්තර කළාය.

‘අසාමාන්‍ය රටාවක්’

ජපානයේ මීට පෙර පැවති අර්බුද පිළිබඳව සලකා බලද්දී අද පවතින අර්බුදයේ බලපෑම හාත්පසින් ම වෙනස්ය. 2008 දී මුහුණ දුන් බැංකු අර්බුදය සහ 90 දශකයේ මුල් භාගයේ දී ඇති වූ දේපල වෙළෙඳාම සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම මගින් වැඩි වශයෙන් පීඩාවට පත් වූයේ මැදිවියේ පිරිමින් ය. එවකට පුරුෂයන් දිවිනසා ගැනීම් විශාල වශයෙන් ඉහළ ගියේය. නමුත් කොවිඩ් වසංගත සමයේ තත්ත්වය ඊට වෙනස් ය. එහි වැඩි බලපෑම ඇතිවී ඇත්තේ තරුණ ජනතාවට වන අතර එයින් ද වැඩි පීඩාව තරුණ කාන්තාවන්ට ය. ඊට පාදක වී ඇති හේතු තරමක් සංකීර්ණ බව පෙනී යයි.

Number of suicides in Japan. 2008 - 2020.  .

සංවර්ධිත රටවලින් වැඩිම දිවිනසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණේ ජපානයෙනි. නමුත් පසුගිය දශකය ඇතුළත එම ප්‍රමාණය තුනෙන් එකකින් පමණ අඩුකර ගනිමින් ඉතා හොඳ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ජපානයට හැකියාව ලැබුණි.

මහාචාර්ය මිචිකෝ උවේඩා, ජපානයේ සිදුවන දිවිනසා ගැනීම් පිළිබඳව අධ්‍යයනයක යෙදුණු විද්වත් කාන්තාවකි. ජපානය දශකයක් පුරා ලබා ගෙන තිබූ ජයග්‍රහණය මාස කීපයක් ඇතුළත ආපස්සට හැරී ඇති අකාරය කෙතරම් විමතිය දනවන්නේ දැයි ඇය මට විස්තර කළාය.

“කාන්තාවන් දිවි නසා ගැනීමේ මේ රටාව ඉතාම අසාමාන්‍ය දෙයක්.”

“වෘත්තියක් හැටියට මේ විෂය ගැන පර්යේෂණ කරන්න පටන් ගත් දා පටන් මම කිසිම දවසක දැකල නැහැ මේ වගේ ඉහළ යාමක්. කොරෝනා වසංගතයෙන් පහර වැදුණු කර්මාන්ත බොහොමයක සේවය කරන්නේ කාන්තාවන්. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය, ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය සහ සාප්පු සංකීර්ණ වගේ දේවල්.” ඇය පැහැදිලි කළාය.

ජපානයේ තනිකඩව ජීවත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. විවාහයෙන් පසුව කාන්තාවගේ සාම්ප්‍රදායික කාර්යභාරය නිවසේ වැඩකටයුතුවලට පමණක් සීමා වීම නිසා නව පරම්පරාවේ බොහෝ දෙනා විවාහ නොවී තනිව ජීවත්වීමට පෙළඹී ඇත.

Michiko Ueda
පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි.” මහාචාර්ය මිචිකෝ උවේඩා

“ගොඩාක් කාන්තාවන් අද අවිවාහකයි. ඔවුන්ට ජීවන අරගලය කරන්න වෙලා තියෙන්නේ තනියෙම. ස්ථිර රැකියාවන් නැහැ. ඉතින් මොනවා හරි සිද්ධ වුණොත් වැඩියෙන් ම පහර වදින්නේ මේ කාන්තාවන්ට. පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි.” මහාචාර්ය මිචිකෝ උවේඩා පැවසුවාය.

“මේ කාලය අතරින් එක මාසයක් විශේෂයෙන් කැපී පෙනෙනවා. ඒ පසුගිය ඔක්තෝම්බරය. ඒ මාසය ඇතුළත පමණක් කාන්තාවන් 879ක් දිවිනසාගෙන තියෙනවා. ඒක 2019 ඔක්තෝම්බරයේ දිවිනසා ගැනීම්වලට වඩා 70%කින් ඉහළ අගයක්.

පුවත් පත්වල පළවූ ශීර්ෂ පාඨවලින් ද අනතුරු අඟවා තිබුණි. පසුගිය ඔක්තෝම්බරයේ ජපානයේ සිදුවූ සම්පුර්ණ දිවිනසා ගැනීම් සංඛ්‍යාව (2,199) සහ ඒ වනවිට කොරෝනාවෛරසයෙන් එරට මරණයට පත් වී තිබුණු ප්‍රමාණය (2,087) සංසන්දනය කොට ඇතැම් පුවත් පත්වල ශීර්ෂ පාඨ පළවී තිබුණි.

අමුතු විදියේ යමක් සිදුවෙමින් පැවතුණි.

පසුගිය වසරේ සැප්තැම්බර් 27වැනිදා, ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය.

එය සිය දිවි නසා ගැනීමක් බව පසුව වාර්තා කෙරිණි.

Japanese actress Yuko Takeuchi
ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය

යසුයුකි ශිමිසු හිටපු මාධ්‍යවේදියෙකි. දැන් ඔහු, දිවිනසා ගැනීම් වලක්වා ගැනීම සඳහා කැපවූ, ලාභ නොලබන ආයතනයක් පවත්වාගෙන යයි

“ප්‍රසිද්ධ කෙනෙකු දිවි නසා ගත්තොත්, රටේ සිදුවන සිය දිවි හානි කරගැනීම් එකවරම ඉහළ යනවා. ඒ තත්ත්වය දින දහයක් පමණ පවතිනවා.” ඔහු පැවසීය.

“දත්ත පරීක්ෂා කරලා බැලුවම අපට පෙනී යනවා සැප්තැම්බර් 27වැනිදා නිලියක් සිය දිවි නසා ගැනීමෙන් පසුව ගෙවුණු දින 10 ඇතුළත ජපානයේ කාන්තාවන් 207 දෙනෙකු දිවි නසාගෙන තියෙන බව.”

එම නිළිය දිවි නසා ගැනීමෙන් අනතුරුව දිවි තොර කරගත් අනෙකුත් කාන්තාවන් ද එම නිළියගේ වයස් කාණ්ඩයට අයත් බව දත්ත විශ්ලේෂණය කිරීමෙන් තහවුරු වේ.

“අනෙකුත් සෑම වයස් කාණ්ඩයකට ම වඩා දිවි නසා ගැනීමට පෙළඹිලා තියෙන්නේ, වයස අවුරුදු හතළිස් ගණන්වල සිටින කාන්තාවන්. එම වයස් කාණ්ඩයේ දිවිනසා ගැනීම් ප්‍රතිශතය, දෙගුණයකට වඩා වැඩියි.” ශිමිසු පැවසුවේය.

ප්‍රසිද්ධ චරිතයක් දිවි නසා ගැනීම සහ ඊට පසු දින කීපයක් ඇතුළත රටේ සිදුවන දිවි නසා ගැනීම් ඉහළ යාම අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවතින බවට විශේෂඥයෝ ද එකඟ වෙති.

කීර්තිමත් චරිතයක් හා බැඳුණු අද්භූත සංසිද්ධිය

මෙම අද්භූත සංසිද්ධිය ජපානයට පමණක් ආවේණික වුවක් නොවේ. දිවි නසා ගැනීමක් පිළිබඳව වාර්තා කිරීම ඉතා දුෂ්කර වන්නේ එබැවිනි.

කීර්තිමත් පුද්ගලයෙකුගේ දිවි නසා ගැනීමකින් අනතුරුව ප්‍රධාන මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව කෙරෙන කතාබහ වැඩි වන තරමට, ඉතා පහසුවෙන් අනතුරට ලක්විය හැකි පුද්ගලයන්ට ඉන් ඇතිවන බලපෑම ද වැඩි වනු ඇත.

මායි සුගනුමා, ලාභ නොලබන සංවිධානයක පර්යේෂණ නිලධාරිනියකි. ඇයගේ පියා දිවි නසාගෙන ඇත්තේ ඇය භද්‍ර යෞවනයේ සිටියදීය. දිවි හානි කරගත් පුද්ගලයන් නිසා අසරණ වූ පවුල්වලට දැන් ඇය පිහිට වන්නීය.

මෙම වසංගත සමය තුළ යමෙකු දිවි නසා ගත්විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් දුෂ්කර තත්ත්වයකට ඇද වැටෙති.

“එවැනි පවුල්වල ඥාතීන්ට මම කතා කරන කොට තේරෙන දෙයක් තමයි, තමන් ආදරය කළ ඒ පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න ඔවුන්ට නොහැකිවීම පිළිබඳ හැඟීම තදින්ම හිත්වලට කාවැදී තිබෙන බව. මේ නිසා ඔවුන් ඔවුන්ටම දොස් පවරාගන්නා තත්ත්වයකට පත්වෙනවා. මගේ තාත්තගේ ජීවිතය බේරාගන්න බැරිවීම ගැන මමත් මටම දොස් පවර ගත්ත.” මායි සුගනුමා පැවසුවාය.

“වසංගතය නිසා දැන් ඔවුන්ට ගෙදරින් එලියට යන්න එපා කියල නීති දාල. ඒ නිසා මේ වේදනාව තවත් වැඩි වෙනවා. ඒ ගැන මම ඉන්නේ කනස්සල්ලෙන්. ජපන් මිනිස්සු මරණය ගැන වැඩිය කතා කරන්නේ නැහැ. දිවි නසා ගැනීම් ගැන කතා කරන සම්ප්‍රදායක් ඔවුන්ට නැහැ.”

බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී
බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී

ජපානය මේ වන විට පසුකරමින් සිටින්නේ තුන්වැනි කොරෝනාවෛරස් රැල්ලයි. එරට ආණ්ඩුව දෙවන වතාවටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය තවදුරටත් දිගු කිරීමට ඉඩ ඇත. බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී. තවත් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙමින් පවතී.

මහාචාර්ය උවේඩා ගේ හිත තුළ වදදෙන තවත් ප්‍රශ්නයක් වෙයි. “ඇතැම් රටවල වගේ දැඩි ලොක්ඩවුන් නීති නැති, සාපේක්ෂව අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවන ජපානයේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනම්, වසංගතය ඉතා දරුණු රටවල මොනවා සිද්ධ වෙනවා ඇති ද?”

**මෙම ලිපියේ අන්තර්ගතය මගින් ඔබේ මනසට යම් බලපෑමක් වූයේ නම් පහත සඳහන් දුරකථන ඔස්සේ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ අමතන්න.

Hotline : +94 11 2 682535 – Mobile/WhatsApp: 0767 520 620, 0777 723 696 ලිපිනය: 60/7, හෝටන් පෙදෙස, කොළඹ – විද්‍යුත් තැපෑල: info@srilankasumithrayo.lk – වෙබ් අඩවිය: slssumithrayo@gmail.com

Text by bbc sandesaya