‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද සීඝ්‍ර ලෙස පැතිරෙයි

‘ටිනීයා – චර්ම රෝගය’ උතුරුමැද  සීඝ්‍ර ලෙස පැතිරෙයි
Spread the love

උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් ඇති වන සමේ රෝගයක් ස්ත්‍රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසයි.

Atypical extensive tinea corporis caused by Trichophyton tonsurans -  International Journal of Infectious Diseases

Tinea corporis යනු අත් සහ පාද, හිස්කබල, මුහුණ හැර ශරීරයේ ඕනෑම කොටසකට බලපාන සමේ මතුපිට දිලීර ආසාදනයකි

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හේමා වීරකෝන් මහත්මිය මෙසේද පැවසීය.

“දිලීර රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී නියමිත ඖෂධය, නියමිත මාත්‍රාව, නියමිත කාලය තුළ ලබාගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. යම් හෙයකින් නියමිත මාත්‍රාවට, නියමිත කාලය තුළ ඖෂධ ලබා නොගතහොත් දිලීර රෝගය සුව නොවීමට පුළුවන්. නිසි කළට නිසි ලෙස ප්‍රතිකාර නොකළ හොත් විශාල මුදලක් වියදම් කර මිල අධික ඖෂධ ලබා ගැනීමට සිදුවනවා.

මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකියි. මෙම ආසාදන සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරුවලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව ඇතිවේ. එයට අමතරව ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකිය. දිලීර නාශක ඖෂධ පමණක් නියමිත කාලය තුළ භාවිත කිරීමෙන් මෙම රෝගය සමාජය තුළ පැතිරවීම අවම කිරීමට දායක විය හැකියි.

මේ වනවිට ටිනියා ආසාදනය රජරට පුරා පැතිර යමින් පවතී. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රජාව විසින් වෛද්‍ය අවවාදවලින් තොරව ඖෂධ භාවිතා කිරීමයි.
බොහෝ විට රෝගීන් තම හිතූ මතේට විවිධ ඖෂධ, බොන බෙහෙත් හෝ ආලේපන ඖෂධ හල්වලින් මුදලට ලබා ගෙන භාවිතා කිරීමට පෙළඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එමගින් දිලීර ආසාදන සුව නොවී විශාල ලෙස පැතිර යමින් පවතී. දිලීර රෝග සදහා නියමිත දිලීර නාශක ඖෂධය සති 06කට ආසන්න කාලයක් භාවිතා කළ යුතුයි.

අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ මාසයකට ආසන්න කාලයක දී මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 100 දෙනෙකු පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ, ඉන් 62%කට පමණ සුදුසු නොවන දිලීර නාශක ප්‍රතිකාර වශයෙන් ලබාගෙන සිටි අය බවයි. තවද එම රෝගීන්ගෙන් 89% පමණ නැවත ප්‍රතිකාර සදහා යොමුවී තිබේ. එකම පවුලේ කිහිපදෙනෙකුටම දිලීරය ආසාදනය වි තිබූ අවස්ථාද බහුලයි.” යනුවෙනි.

මෙම පුවත ගැන වඩාත් පුළුල් අවධානයක් අවශ්‍ය හෙයින් lankatruth.com ඇසුරින් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක