හිමිකමක් නැතිව මෙතෙක් භුක්ති විඳි ‘රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර’

හිමිකමක් නැතිව මෙතෙක් භුක්ති විඳි ‘රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර’
Spread the love

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

 “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව  සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමේ.

මේ වැඩසටහන ගොවිතැනින් ජිවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදායම් මට්ටම වැඩි කර ගැනීමට ඝෘජු බලයක් සැපයීම රජයේ අපේක්ෂාවයි.

දීමනා පත්‍රලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකිය. ඵලදායී ඉඩම් උපයෝජනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකවීම ඉඩම්ලාභීන්ගෙන් අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් සේ සැලකේ. එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍රලාභීන්ට හිමි වෙයි. මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිතුමා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරිණ.

ජනාධිපති කාර්යාලය, ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.