සංගක්කාර කෝටු මස් කරන ‘දඹුල්ලේ සුද්ධවන්තයෝ’

සංගක්කාර කෝටු මස් කරන ‘දඹුල්ලේ සුද්ධවන්තයෝ’
Spread the love

සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙහිදී කොහොඹා කන්කාරියේ ඌරා මස් කිරිමක් නිරූපනය  කරන කොටසක් සිහිපත් වේ. උක්ත ඉඩම් සිද්ධිය මේ වනවිට අවලංගු කර එකී කාර්ය සඳහා දායකත්වය ලබාදුන්  ග්‍රාම  නිලධාරි වරයාගේ වැඩ තහනම් කර ඇත.  ඌරා මස් කිරිම සිදුවෙමින් පවතී.

කුමාර සංගක්කාර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ වගකීම් දරමින් සම්භාවනාවට පාත්‍රවූ බොහෝ ක්‍රීඩකයන්ට අභිබවා තවමත් දිලිසෙන දෙපයින් ගමන් කරමින් සිටින්නෙකි. සංගක්කාර අපට වටින්නේ එහෙමය.දැන් සංගක්කාර යනු පට්ට දූෂිතයෙකි. වරද සංගක්කාර ඉඩම් පළහිලව්වකට මැදිවීම නොවේ. අප රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රිඩා කිරිමය. සමහරු එයා ඉවරයි කියන්නේ දැඩි තෘප්තියකිනි.

විශේෂයෙන් අපේ මාධ්‍ය මෙහෙවර අති විශිෂ්ඨය. දැන් සංගක්කාර පිටස්තර ලෝකයටද හොරෙකි. හෝ වංචනිකයෙකි. ඔහු පසුපස රටේ නීතිය හඹා එමින් සිටියි. රඹකැන්ඔය ප්‍රදේශයේ විවාදිත වන විනාසය කළ පිරිසක් කාටත් නොකියා එකී භූමියෙන් ඉවත්ව ගොස් ඇත. ඒ ගියේ කවුද කියා මාධ්‍ය  රටට කියන්නේ නැත. මංගලඔය ඉවුරු විනාස කරමින් වැලි කනිමින් සිටිනු වාර්තා විය. එවැනි වන විනාසයන් වැලි පස් ගැනීම් දිනපතා දස අතින් වාර්තා වේ. එහෙත්  ඒවා මාධ්‍ය වාර්තාවලින් එපිටට ගමන් කරන්නේ නැත. සිරස ලක්‍ෂපති තරගයට සිංහරාජ අඩවියෙන් පැමිණි  භාග්‍යා අබේරත්න  පසුපසද රටේ නීතිය හඹා එමින් පවතී. ඒ ඇයි? සංගක්කාර විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමත්, භාග්‍යා ඇත්ත කතා කිරිමත්  නිසාය.

මාධ්‍ය රටට හානිකර මෙවැනි සිද්ධි තරාතිරම නොබලා, රටට හෙළි කළ කිරිමේදි ගවේශණාත්මකව ක්‍රියා කළ යුතුවේ.  සමහර මාධ්‍ය සංගක්කාර සිද්ධියේදී මතු කර ගත්තේ ඔහුට නීතිය පිළිබඳ දැනුමය.  සංගක්කාර සිද්ධිය  පසුපස සිටි ඉඩම් තැරැව්කරුවන් හෙළිදරව් වෙද්දී, සංගා කෙටි කලක් නීති විද්‍යාලයේ සිටි බව සොයා ගත්හ.  සංගා ක්‍රිකට් ලෝකයේ ඉහළට එසවුණ එක් අවස්ථාවක ඔහු නීති ශිෂ්‍යයෙකු බව  මාධ්‍ය වාර්තා කළේය. ඊට පසු දින සමහරුන් කතා කළේ ඔහු රටට ගෙනා ගෞරවය නොවේ. නීති විද්‍යාලයට ඇතුල්ව අතරමග දමා යාම නිසා  රටේ තවත් කෙනෙකුගේ අවස්ථාව අහිමිවිම ගැනය. අප මේවා දැකිය යුත්තේ උපේක්‍ෂාවෙනි. එහෙත් උනන්දුවේ ප්‍රමාණය උපේක්‍ෂාවෙන් යටපත් කළ නැත. අධිකරණයේදී කෙනෙකුගේ කැරැට්ටුව විමසා බලන්නේ වැරදිකරු වුණොත් පමණකි. නීති විද්‍යාලයට ඇතුල්වීමේ කතාව නිසා, සංගක්කාර රටේ නීතියට අවනත විය යුතුය. මේවා මරු කතාය.

දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තාව ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති පදවිය දැරූ කීර්තිමත් නීතිඥවරුන් අත්සන් කළ ලිපියට ජනාධිපති නීතිඥ ඩබ්ලිව්.දයාරත්න අත්සන් නොකළ බව ප්‍රකාශ විය. ඒ ඔහු කීර්තිමත් නීතිඥයෙකු නිසා විය හැකිය.  ඔහු අත්සන් නොකළේ ඇයි? හේතුව ලේක් හවුස් සභාපති ධුරය දැරිමද? කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. ඒ අතර, තවමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය දරමින් සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සද මේ ලිපියට අත්සන් තබා නැත.  සංගක්කාර සිද්ධිය  පසුපස සිටි ඉඩම් තැරැව්කරුවන් හෙළිදරව් වෙද්දී, නීතිය සහ  සංගක්කාර එක කොටුවක කොටු කිරිම, ඌරා මස් කිරිමක් නොවන්නේද? මේවා චූන්පාන් වෙළඳ සංගීත රිද්මයන්ය.

සංගක්කාර තරග පාවා දුන්නා නම්, ක්‍රිකට් පාලක මණ්ඩලය නොමග යවා යම් ධනයක් ලබා ගත්තා නම්, ඊට ඔහු වගකිව යුතුවේ. එය වෙනම තත්වයකි. උඩුවේ ධම්මාලෝකගේ අලි හොරකම දේශපාලන චෝදනාවකි. ඩේසි ආච්චිගේ මැණික් මල්ල, රාජපක්‍ෂලාගේ වීරකැටිය සොහොන, අමාත්‍යාංශ ලේකම්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු සතු කර්මාන්ත ශාලාවක් නිසා, රතුපස්වල ගමේ ළිං ජලයට විෂ මිශ්‍ර වීමේ සිද්ධිය. මල්වානේ හිමිකාරයෙකු නැති නිවෙස, සිරිලිය ගිණුමේ ශිරන්ති රාජපක්‍ෂගේ හැඳුනුම් පත් අංකය, වීරවංශ ජෝඩුව රාජ්‍ය ලේඛන හරහා වයස අඩුකර ගැනීම මේ සියල්ල සමග ගත් කළ සංගක්කාරගේ බිරියගේ නම පටැලවුණ ඉඩම් සිද්ධිය හරහා මතුවන නෛතික වගකීම් ඉහළ යන්නේ ඔවුන් දේශපාලනඥයන් නිසාය. බෞද්ධ භික්‍ෂුවකගෙන් අපේක්‍ෂා නොකරන, රාජපක්‍ෂ වැනි දේශමාමක දේශපාලනඥයන්ගෙන් අපේක්‍ෂා නොකරන නීතිගරුක බවක් විනයක් පාරද්‍රෘශ්‍යභාවයක් තම දක්‍ෂකම් පෙන්වා රටට කීර්තියක් අත්කර දුන් කුමාර් සංගක්කාරගෙන් අපේක්‍ෂා  කිරීම සංගාට හොඳය.  

මේ කරන්නේ කුමා සංගක්කාර සුද්ධ කිරිම නොවේ. පවත්නා සමාජ විකෘතිය සාකච්ඡා කිරිමටය. දඹුලු පාපිස්ස යට පවත්නා, දූෂිත තත්වය තුළ සංගාගේ සිද්ධිය විය හැකි බව සාකච්ඡා කිරිමටය. දඹුල්ල හරහා බස් රියකින් ගමන් කරන්නෙකුට ඔහු නොදැන හොර බඩු ළඟ තමා ගත්තෙකු විය හැකිය. වර්තමානයේ දඹුල්ල ප්‍රසිද්ධ ලෙන් විහාරය නිසා නොවේ. විශේෂිත ආර්ථීක මධ්‍යස්තානය නිසාය. එකී ආර්ථික මධ්‍යස්ථාන ඉපයීම් වලින් දෛනිකව කප්පම් ගන්නා දේශපාලනඥයන් නිසාය.

මේ රටේ ජනතාවගේ ගෞරවයට පත් දේශපාලනඥයෙකුගේ සමහර දරු මුණුපුරන්ට මේ කතා බොරු යයි කිව හැකිද? කණ්ඩලම ප්‍රසිද්ධ හෝටලය ආරම්භ කළ අවදියේ තමන් බලයට පත්වූ වහා එකී ගොඩනැගිල්ල මහ රෝහලක් කරන බවට දුන් පොරොන්දු වුණේ  රිචඩ් පතිරණය. ඒ හෝටලය රෝහලක් නොවී තවමත් හෝටලයක් ලෙස පවතින්නේ රිචඩ් පතිරණ සෞඛ්‍ය ඇමති නොවූ නිසා ය. මේවා විහිථතහ`ථ නොවේ. බරපතල ලෙස රට රවටමින්  කරන තක්කඩිකම්ය.  

සංගක්කාර රවටා ඇත්තේ රජය මිස,  ඒ ඉඩමේ මුල් හිමිකාරිය නොවේ. ඇය එය විකුණා හෝ පවරා ඇත්තේ අසරණකමටය. යම් නීති විරෝධි සැක කටයුතු ක්‍රියාවක් නිසා, නිමල් ලංසා පදිංචිව සිටි නිවෙස  රජයේ ආරක්‍ෂක අංශ මහ රෑ වැටලූහ. ඒ අවස්ථාවේ ඔහු බේරුණේ රටේ ජනාධිපති එහි පැමිණි නිසාය. අද සංගාගෙන් සදාචාරය අපේක්‍ෂා කරන රටේ මිනිස්සු නිමල් ලංසා තබා ඇත්තේ කොතැනද? ඔහු බේරා ගත් මහින්ද රාජපක්‍ෂට දක්වන ගෞරවය කෙබඳුද? ස්ථීර විවාහ දීමනා ගෙවමින්, දික්කසාදවූ සංගාගේ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙති.

එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ එරෙහි දික්කසාද නඩුව නැවත අලුත් වෙමින් ප්‍රශ්න කරයි. ඊට හේතුව ඔහු වටා ආරෝපනයවී ඇති දේශපාලන හෝ සමාජ වගකීමද? හෝ ඔහු උඩරැටියෙකු  වීම නිසාද? ප්‍රශ්නයක් මේ ආකාරයෙන් ලඝු කළ යුතු හෝ අවුල් කළ යුතු නැත. එහෙත්  ප්‍රශ්නයක් හඳුනා ගැනීමට අහුමු`ථ අතගා බැලීමත් ක්‍රමයකි.  හරියට සංගාගේ ලෝ කොලේජ් කතාව වාගේය.

අප නැවත දඹුල්ල නම් දූෂණයට තෝතැනිවූ සංගා ගස් බැන්ද දඹුල්ල වෙත යොමු විය යුතුවේ. රජය සතු ඉඩම් බහුල  දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් සංගක්කාර ක්‍රමයට අවභාවිතාවීම ගැන වෙනම කොමිසමක් පත් කළ හැකි නම්  තැරැව්කරුවන් සමග එකට කනබොන මුදල් උපයන නිලධාරින් සිය ගණනින් සොයාගත හැකිවේ. මේ සිය`ථ ඉඩම් දූෂණ සිදුවී ඇත්තේ සීගිරි ගල පෙනෙන ඉසව්වේ ඇති ඉඩම් සම්බන්ධව වීමත් වැදගත්ය.  රජයේ සමහර ප්‍රාදේශීය බලධාරින් මේ ආකාරයට තමන්ම ඉඩම් හිමිකර ගෙන විවිධ ආයෝජන කරමින් ධනය උපයන අයුරු දඹුල්ලට රහසක් නොවේ. මෙතන සිදුවී ඇත්තේ තවත් විවිධ හේතු මත සංගක්කාර මස් කිරිමක් පමණකි.

සිද්ධිය සැලවූ සැනින් ප්‍රකට මාධ්‍යවේදියෙකු තොරතුරු දැනගැනීමේ පනත යටතේ, සිය`ථ ලෙඛන ලබාගෙන ප්‍රසිද්ධ කළේය. ඉඩම හිමි මුල් කාන්තාවගේ හඬ පටයද රටට ඇහෙන්නට සැලැස්විය.එය යහපත්ය. මෙවැනි දූෂණයන්  පිටස්තර සමාජයට තනිව සිදු කළ නොහැකිය. මේ දූෂණ වංචා පෙළ ගස්වන්නේ  තැරැව්කරුවන්ය. රජයේ බලධාරින්ය.ග්‍රාම නිලධාරි වහා වැඩ තහනමට ලක් කළේ ඒ වරද කළ එකම නිලධාරියා ඔහු නිසා නම් අප ආඩම්බර විය යුතුවේ. එහෙත් අමිහිරි ඇත්ත එය නොවේ.  සංගක්කාර ජෝඩුව සීගිරි ගල පෙනෙන ඉඩම් සොයා ගොස් මේ ඉඩම අත්පත් කර ගැනීමට මේ වංචාව සැලසුම් කළේද? සෙවිය යුත්තේ මෙයයි. මේ සියල්ල ඉහළ සිට පහළට සිටින බලධාරින් දැනුවත්ව සිදුවන ක්‍රියාවන්ය. මුදල් වාසියට මෙන්ම වෙනත් උවමනාවන් සඳහා දඹුල්ල ප්‍රදේශය කරවන බලධාරින් මෙවැනි දේ කරන්නේ අද ඊයේ නොවේ. මාධ්‍ය සගයන්ට මෙවැනි සිද්ධි හෙළි කරමින් දූෂණයට වැට බැඳීය හැකිය. කළ යුත්තේ අවදියෙන් සිටිම පමණකි. දැන් දොර විවෘතව ඇත.  
එක් ඔත්තුවක් මෙසේය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එච්.පී.පී.ඒ. හේවාපතිරණ මහත්මිය අංක 5/3/12/1-31  සහ 2015.12.30 දින  ලිපිය නිකුත් කර අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති බෞද්ධ සිද්ධස්ථානයක් අනවසර ඉදි කිරිමක් ලෙස කඩා ඉවත් කිරිමට උසාවි නියෝග ලබා ගත්තේය. හන්දි ගානේ බෝගස් වටකොට පන්සල් ගොඩනැගෙන රටේ දඹුල්ල වෑවලවැව ගම්මානයෙ කලක් භික්‍ෂුන් වාසය කොට යම් කලක් අක්‍රියව පැවති ආරාමයකට නැවත භික්‍ෂුන් වැඩම කිරිම අනවසර වන්නේ කෙසේද? ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරිනි එච්.පී.පී.ඒ. හේවාපතිරණ අදටත් ඊට උත්තර බැඳීය යුතුවේ. එය ඔප්පු වුණොත් ඇය  ඊට දඬුවම් ලැබිය යුතුවේ. සංගක්කාර මෙන් සමාජ අපවාදය ලැබිය යුතුවේ. සමාජය වෙනුවෙන් කාංචන ආරියදාස සගයා මේ තොරතුරු සොයා හෙළි කරනු ඇත.  

උක්ත වෑවලවැව ශ්‍රී සම්බෝධි විහාරය සහ වෑවලවැව මහසෙන් අවමංග්‍යාධාර සමිතිය එකී පන්සල් භූමියෙහි අදටත් ස්ථානගතව ඇත. භික්‍ෂුන් වහන්සේලා නේවාසිකව වැඩ නොසිටි එක් අවස්ථාවක එකී භූමියෙහි හිමිකම සමිතියට ලබා දීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  ජිනාදරී සිරිවර්ධන මහත්මිය අංක 77/4/4/4/44 සහ 2002.12.17. දින දරන ලිපියෙන්  මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් වෙත සිය අනුමැතිය දක්වා තිබිණ.  ඒ  වෑවලවැව මහසෙන් අවමංග්‍යාධාර සමිතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පැවති නිසාය.  මාධ්‍යවේදින්ට අවශ්‍ය නම් උක්ත දඹුල්ල. වෑවලවැව, මහසෙන් අවමංග්‍යාධාර සමිතිය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්/ සහකාර රෙජිස්ට්‍රාර් වරයා ලෙස  2001.01.05 දින අංක 23 යටතේ ලිය පදිංචි කර  ඇති බවද විමසා බැලිය හැකිය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එච්.පී.පී.ඒ. හේවාපතිරණ අංක 5/3/12/1-31  සහ 2015.12.30 දින  ලිපිය නිකුත් කළේ ඒ තොරතුරු තම කාර්යාලයේ පවත්නා බව නොදැන නොවේ. සත්‍ය හේතුව වෑවලවැව අසල පිහිටි තවත් පන්සලක භික්‍ෂුන් සතු ශක්තියයි. දූෂණයක් සිදුවි නැද්ද?  මේ සියල්ල දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් පළවන සහ දෙවන වගඋත්තරකරුවන් කරමින් මහනුවර මහාධීකරණයෙහි 2015-03- 12  දින පවරන ලද අංක උරසඑ    11   රැ2015  දරන නඩුවේ  2016-04-28-  දින ප්‍රකාශිත තීන්දුවෙහි දැක්වේ.

බලධාරින් සංගක්කාර සිද්ධියේදී ග්‍රාම නිලධාරිගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්ද? මාතලේ දිස්ත්‍රික් ලේකම්ද? මධ්‍යම පළාත් ආණ්ඩුකාරයාද? මේ කියන්නේ වෑවලවැව පන්සල අනවසර අල්ලා ගැනීමක් කළ සිද්ධිය පරිපාලන නිලධාරින් මුල්ව සිදු කළ නිසා, කිසිදු  පියවරක් නොගන්නා බවද? දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එච්.පී.පී.ඒ. හේවාපතිරණ බලය අයුතු ලෙස යොදමින්  නිල බලය යොදා රජය පිළිගත් මෙම ස්වේච්ඡා  සමිතියේ සාමාජිකත්වය දරන 600කට නො අඩු රටේ පුරවැසි ගම් වාසින්ගේ රැස්විමේ අයිතිය ආගම ඇදහිමේ අයිතියට බාධා පමුණුවමින් බලපෑම් නොකළේද? එහෙත් මේ සිද්ධියට අත තැබුවොත් ඒ මාධ්‍ය කාරයන්ට දඹුල්ල වදක භූමියක් විය හැකිය.  

අද සංගක්කාරට එළව එළවා පහර දෙන කණ්ඩායම් කරන්නේ ඌරා මස් කිරිමකි. මේ සක්‍රිය වෙන්නේ රජයේ අසාර්ථකත්වය වසා ගැනිමට එක දිගට පෙළ ගස්වන මාධ්‍ය සංදර්ශනයේ කොටසකි. සමහර විට, වාස් ගුණවර්ධන ජෝඩුවට මෙන්,  වෑවලවැව අපරාධය කල් උකුත්වීම හේතුවෙන් එච්.පී.පී.ඒ. හේවාපතිරණ මුදා හැරෙනු ඇත. එහෙත් දඹුල්ල යනු සංගක්කාරලා පමණක් නොව, දඹුල්ලට පත්ව එන නිලධාරින්ද සාතන්ලා කරවන තරම් කුප්‍රකට දේශයක්ව ඇත. හේතු බොහෝය. සංචාරක ආකර්ශනය ඊට එක් හේතුවකි. ඉනාමලුව කෝරලේ ඉඩම් සංවර්ධනය කිරිමෙන් සිංහරාජය, රඹකැන්ඔය ආදි තහනම් කලාපවල මෙමන් පරිසර හානි සිදුනොවේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.