AstraZeneca එන්නත ගැන අර්බුදය: අලුත්ම තත්ත්වය කුමක් ද ?

AstraZeneca එන්නත ගැන අර්බුදය: අලුත්ම තත්ත්වය කුමක් ද ?
Spread the love

කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමක් සිදුනොවන බව එක්සත් රාජධානියේ සහ යුරෝපා හවුලේ නියාමකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම නිගමනයට පැමිණ තිබෙන්නේ ”ප්‍රවේශම්කාරී යළි අධීක්ෂණයකින්” අනතුරුවය.

රටවල් කීපයක් විසින් ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීම නතරකර ඇති නමුත් එය නොතකා එන්නත කෙරෙහි විශ්වාසය තබමින් එය ලබාගනිමින් එහි ප්‍රතිලාභ ලබාගත යුතුව ඇති බව බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සංරක්ෂණ ආයතනය(MHRA) සහ යුරෝපා ඖෂධ අධිකාරිය(EMA) පවසති.

එහෙත් එන්නත ලබාගැනීමෙන් අනතුරුව දවස් හතරකට වැඩි කාලයක් නොකඩවා හිසරදයෙන් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයන් පූර්වාරක්ෂක පියවරක් වශයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් එම ආයතන මහජනතාවට දැනුම්දෙති.

එපමණක් නොව, එන්නත ලබාගැනීමෙන් පසු සිරුරේ සමෙහි යම්කිසි තැල්මක් වැනි වෙනසක් පෙනෙන්නේ නම් ඔවුන් ද වෛද්‍ය උපදෙස් ලබාගත යුතුව ඇතැයි එම උපදෙස් මගින් කියැවෙයි.

එවැනි උපදෙස් දීමක් සිදුකරනු ලැබ තිබෙන්නේ එන්නත ලබාගැනීමෙන් පසු, ඉතා දුර්ලභව සිදුවන මොළයේ රුධිර කැටිගැසීම් සම්බන්ධයෙන් වාර්තාවීමෙන් පසුවය. එහෙත් එවැනි වාර්තා ලැබී ඇත්තේ අතිශයින් ස්වල්ප සංඛ්‍යාවකි.

යුරෝපා රටවල් කීපයක් එන්නත භාවිතය නතරකරන ලද්දේ එවැනි වාර්තා කීපයක් ලැබීමෙන් පසුවය.

එක්සත් රාජධානියේ එක්කෝටි දශ ලක්ෂයක් (මිලියන 11) පමණ ජනතාවට එම එන්නත ලබාදී ඇති අතර මොළයේ නහරවල රුධිරය කැටිගැසීම් (CSVT) වාර්තාවී තිබෙන්නේ පහක් පමණි. වයස අවරුදු 19-59 අතර පස්දෙනකු එවැනි තත්ත්වයකට පත්ව තිබුණි. එය මරණීය තත්ත්වයකට බලපා තිබුණේ එක් අයෙකුට පමණි.

එහෙත් යුරෝපා ඖෂධ අධිකාරියට (EMA) එවැනි සිද්ධීන් 13ක් වාර්තා වී ඇත.

මොළයේ නහරවල රුධිරය කැටිගැසීම් (CSVT) ස්වභාවිකව සිදුවිය හැකි අතර එම තත්ත්වය සහ එන්නත භාවිතය අතර සම්බන්ධයක් ඇතැයි තහවුරු වී නැත. එම රෝගීන්, රුධිරය කැටි ගැසීම කෙරෙහි හේතුවන රුධිර පට්ටිකා සංඛ්‍යාව පහළ මට්ටමක පැවති අය වූහ.

එන්නත නිසා නොව, කොවිඩ්-19 වෛරසය ආසදනයවීම රුධිරය කැටිගැසීම අතින් ඊට වඩා ප්‍රබල හේතුවක් විය හැකිය.

එන්නත

ලැබෙන තොරතුරු සහ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නියාමකයන් දැඩි අධීක්‍ෂණයෙන් පසුවෙන අතර මහජනතාව තම වාරය පැමිණිවිට එන්නත ලබාගත යුතුව ඇතැයි එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය සංරක්ෂණ ආයතනයේ (MHRA) ප්‍රධාන විධායක වෛද්‍ය ජූන් රයිනි (Dr June Raine) ප්‍රකාශ කළාය.

”මහජනතාවට අප විසින් සිදුකරනු ලබන ඉතා දැඩි අධීක්ෂණය සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තබන්න පුළුවන්” වෛද්‍යවරිය පවසන්නීය.

එන්නත ලබාගැනීමෙන් අත්වෙන වාසි ඉතා පැහැදිලි යයි මානවීය ඖෂධ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ශ්‍රීමත් මුනිර් පිර්මොහොමඩ්(Prof Sir Munir Pirmohamed) පෙන්වා දෙයි.

”අතුරු ආබාධ ගැන ලැබෙන වාර්තා අතිශයින් දුර්ලභයි. මෙම එන්නත ලබාගැනීම නිසා අත්වෙන ප්‍රතිලාභ පැත්තෙන් බැලුවොත් කොරෝනා වසංගතයට ගොදුරුවීම නිසා රෝහල්ගත කෙරෙන සහ එමගින් සිදුවෙන මරණ සංඛ්‍යාව 80%කින් පහත වැටී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙනවා. සිදුවිය හැකි අනතුරු ඉතාම දුලබයි” මහාචාර්ය පිර්මොහොමඩ් පවසයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දුර්ලභ රුධිර කැටිගැසීම් අදාළ තොරතුරු ඇතුළත් කරමින් එන්නතේ නව නිෂ්පාදන යාවත්කාලීන කෙරෙනු ඇත.

”ඇතිවිය හැකි දුර්ලභ තත්ත්වයන් පිළිබඳව අවධානය ආකර්ෂණය කරගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් මෙන්ම එන්නත ලබාගත් පුද්ගලයන්ට තොරතුරු සැපයීම, මුහුණදීමට සිදුවිය හැකි අතුරු ආබාධ අවමකර ගැනීමට උදව්වක්” වනු ඇතැයි යුරෝපා ඖෂධ අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ එමර් කූක් (Emer Cooke) පැවසීය.

යුරෝපා ඖෂධ අධිකාරියේ (EMA) නිගමනය, එන්නත ලබාගත් කෝටි දෙකක් (මිලියන 20) පමණ ජනයාගේ තොරතුරු මත පදනම් වෙයි.

දැනට එළැඹ ඇති නිගමන මෙසේය;

  • එන්නත ලබාගැනීම නිසා අත්වෙන ප්‍රතිලාභ සමඟ බලනවිට එමගින් ඇතිවිය හැකි අතුරු ආබාධවලට සාපේක්ෂව තවමත් මහා පරිමාණයෙන් පැතිරයමින් පවතින කොවිඩ්-19 වෛරසය නිසා රුධිරය කැටිගැසීමට සහ ඇතැම්විට මරණයට පවා හේතුවෙන අනතුර වඩාත් බරපතල වෙයි.
  • එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිරය කැටිගැසීමේ සමස්ත අනතුරෙහි වැඩිවීමත් සමඟ එම එන්නතෙහි සම්බන්ධයක් නොමැත.
  • එන්නතේ සුවිශේෂී කාණ්ඩ සම්බන්ධයෙන් හෝ විශේෂ නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති බවට සාක්ෂි නැත.
  • මොළයේ සහ රුධිර නාලිකාවන්හි අතිශයින් දුර්ලභ ලේ කැටි ගැසීම් සමඟ ඇතැම්විට එන්නතෙහි සම්බන්ධයක් තිබීමට ඉඩකඩ ඇත.

එන්නත ලබාගැනීමෙන් අනතුරුව පහත දැක්වෙන ලක්ෂණ අතරින් කිසිවක් වේනම්, පූර්ව ආරක්ෂණ පියවරක් වශයෙන් වහාම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වියයුතු බවට උපදෙස් දීමක් ද සිදුකරනු ලැබ ඇත.

  • හුස්ම ගැනීමේ අපහසුතා.
  • පපුවේ හෝ උදරයේ වේදනා.
  • අතක හෝ පාදයක ඉදිමීමක් හෝ සීතලවීමක්.
  • එන්නත ගැනීමෙන් පසු දරුණු අතට හැරෙමින් පවතින හිසරදයක් හෝ පෙනීමේ අපැහැදිලිතාවක් වේනම්.
  • නොකඩවා රුධිරය වහනයවීමක්.
  • සමේ ස්ථාන කීපයක තැලීම් වැනි ලකුණු හෝ දම් හෝ රතු පැහැති ලප හෝ සම අභ්‍යන්තරයෙහි රුධිර බිබිලි පෙනෙන්නේනම්.

ඒවා ඉතාම කලාතුරකින් සිදුවෙන එසේම ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි දුර්ලභ අතුරු ආබාධ වෙති.

එන්නත
BBC SANDESAYA