නෙළුම්පොකුණ අභියස දැවැන්ත සිතුවම ඉවත් කිරීම: සමාජමාධ්‍ය ගිනිගනී

නෙළුම්පොකුණ අභියස දැවැන්ත සිතුවම ඉවත් කිරීම: සමාජමාධ්‍ය ගිනිගනී
Spread the love

දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නෙළුම් පොකුණ රගහල ඉදිරිපිට නිර්මාණය කළ උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70ක් වන විශාල සිතුවම අද (මාර්තු 19) දෙවරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීම සමග සමාජමාධ්‍ය තුළ බලවත් කැළඹීමක් ඇතිවී තිබෙනවා.

සිතුවම

නෙළුම්පොකුණ ඉදිරිපිට තාවකාලික අට්ටාලයක් මත ප්‍රදර්ශනය කළ මෙම විශාල සිතුවම අද (19) උදෑසන කොළඹ නගර සභා සේවකයින් පිරිසක් විසින් මුල් වරට ඉවත් කිරීමට පියවර ගත්තා. නගර සභා සේවකයින්ගේ මෙම පියවරට විරෝධය පා සංවිධායකයින් කියා සිටියේ එය නගර සභා අවසරය මත ඉදි කර ඇති බවයි. ඒ අනුව යළිත් නගර සභා සේවකයින් විසින් ම එය සවි කිරීමට පියවර ගත්තා.

නගරසභාව දැනුවත් කළ ලිපිය
,නගරසභාව දැනුවත් කළ ලිපිය

නමුත් එයින් පැය ගණනකට පසු පොලිසියේ පරිසර ඒකකය විසින් එම විශාල සිතුවම නැවතත් ඉවත් කිරීමට පියවර ගත් බවට සංවිධායකයෝ චෝදනා කරනවා.

“අපි මේ සඳහා කොළඹ නගර සභාවෙන් අවසර අරගෙනයි තිබුණේ. අපි මේ පිළිබඳව පොලීසියත් දැනුවත් කර තිබුණේ. පොලිසියෙන් අපිට කිව්වේ PHI ගෙන් අවසර ගන්න කියලා හවස තියෙන දැනුවත් කිරීමේ වැඩසටහනට. නගරසභාවට අපි මේ සිතුවම ගැන දැනුවත් කරලයි තිබුණේ. එත් අපි මේ සිතුවම ඊයේ රෑ දැම්මට පස්සේ අද උදේ ඇවිත් ඒක ගලවන්න කිව්වා,” ප්‍රදර්ශනය සංවිධානය කළ කණ්ඩායමේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති ක්‍රියාකාරිනියක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

“ඒක ඔවුන් ගලවා රැගෙන යන්න යනකොට අපි ඒ සිතුවම උඩ ඉඳගෙන ඒක ගෙනියන්න දුන්නේ නෑ. අපි ළඟ තව චිත්‍ර හා කලා නිර්මාණ තියෙනවා ප්‍රදර්ශනයට ඒත් ඒ අය අපිට ඒ කිසිදෙයක් පාර්ක් එක ඇතුළට ගෙනියන්න දෙන්නේ නෑ. මේ ළමයින්ගේ ශ්‍රමය මේ ළමයි සතියක් පුරා ඇඳපු චිත්‍ර මෙතන තියෙන්නේ.”

සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී
සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී සිටින ක්‍රියාකාරිනියන් දෙදෙනෙක‍

මේ අතර මෙම සිදුවීම සමාජ මධ්‍යයේ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා. එක් සමාජ ක්‍රියාකාරිනියක තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසා තිබුණේ “විහාර මහාදේවී උද්‍යානයේ පරිසර සංහාරය සම්බන්ධයෙන් ළමා එකමුතු කිහිපයක් අඳින ලද මියුරල් චිත්‍රය ඉවත් කිරීමට ජනාධිපති කාර්‍යාලයෙන් යැයි කියා ගන්නා පිරිසක් නියෝග කොට ඇත. පරිසර සංහාරයට එරෙහිව දරුවන් මර්දනය හෙළා දකිමු!” යනුවෙනි.

පංචාලි පනාපිටිය මුහුණුපොතේ තැබූ සටහන

මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස් පවසන්නේ මීට වසරකට පමණ පෙර රටවටා බිත්ති මත සිතුවම් නිර්මාණයට අනුබල දුන් ආණ්ඩුවක් අද මෙවැනි පියවරක් ගැනීම ගැන තමන් විමතියට පත් නොවන බවයි.

‘මේක තමයි ලංකාවේ දේශපාලනයේ නියම ස්වභාවය. තමන්ගේ න්‍යාය පත්‍රයට සිදුවන ඕනෑ දෙයක් දේශප්‍රේමි වන විට තමන්ට විරුද්ධ මත මර්ධනය කිරීමට ඔවුන් දෙවරක් හිතන්නේ නැහැ. මේ වන විට පරිසරය ගැන කතා කිරීම ආණ්ඩුවට දරා ගන්න බැහැ‘ යැයි තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු වන කඩවත රොෂාන් රණවීර කියා සිටියා.