ආදායම් බදු ගෙවන්නත් රුපියල් මිලියන 245ක අඟරු චෙක්පත් දීලා

ආදායම් බදු ගෙවන්නත් රුපියල් මිලියන 245ක අඟරු චෙක්පත්  දීලා
Spread the love

2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැන්වීය.

කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අයකර ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන  විට නඩු පවරා ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර 2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරින ලද බදු පියවීමේ(විශේෂ විධිවිධාන) පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 වැනි දිනට ලබා දී ඇති හිඟ බදු විස්තරය අනුව අය කල හැකි හිඟ බදු මුදල රුපියල් කෝටි 14,450 ක්  පමණ ( රු.144,537,364,916 ) වූ බවද කාරක සභාවේදී හෙළිවිය.

මෙම කරුණු හෙළිවූයේ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

එම අවස්ථාවට දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ , යන ගරු රාජ්‍ය අමාත්‍යවරු ද , තිස්ස අත්තනායක , මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති , හරිනි අමරසූරීය,කාදර් මස්තාර්, එස්.ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝද සභභාගී වූහ.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය  (RAMIS) ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොදු ක්‍රමවේදයක් ඊට අදාළ සියලු පාර්ශව සමඟ එක්ව කඩිනමින් සකසන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

ආයතන 29 ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනීමට කටයුතු කෙරේ. ඉන් ආයතන 06 ක් මේ වන විටත් මෙම පද්ධතියට එක්ව සිටින බවද කාරක සභාවේදී අනාවරණය විය. මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තවත් ආයතන 06 ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනෙන බවද මෙහිදී හෙළි විය.

මෙරට ක්‍රියාත්මක සියලුම බැංකු ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දිය යුතු  බවටද කාරක සභාව නිර්දේශ කළේය. ලංකා බැංකුව සහ මහජන බැංකුව තවත් මසකින් මෙම පද්ධතියට එකතු වීමට සූදානම් බවද කාරක සභාවේදී කීවේය.

පද්ධතියට ඇතුළත් වීමට  අදාළව ආයතන වලට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධ ද   කාරක සභාවේදී අවධානය යොමු විය.

මෙම කාරක සභාවට මුදල් අමාත්‍යාංශය , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජාතික විගණන කාර්‍යාලය, මහාභාණ්ඩාගාරය ඇතුළු ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් වන ආයතනවල නිලධාරිහු සහභාගි වූහ.