මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි

මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි
Spread the love

මතභේදාත්මක “සාතන් සපත්තු” යුගලයක් සම්බන්ධයෙන් නයිකි (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ.

යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ “ලූක් 10:18” යන වචන කෙටූ පාවහන් යුගල ඩොලර් 1,018කට (රුපියල් 202000කට වැඩි) මිල කර තිබූ අතර එය වෙනස්කරන ලද ‘නයිකි එයාර් මැක්ස් 97’ පාවහන් භාවිත කර නිපදවා තිබේ.

MSCHF කලා සමූහය රැප් ගායක ලිල් නාස් එක්ස් (Lil Nas X) සමග එක්ව සඳුදා (මාර්තු 29) පාවහන් යුගල 666 ක් නිකුත් කළ අතර ඒවා මිනිත්තුවකට අඩු කාලයකදී අලෙවි වූ බව පවසයි.

මෙහිදී සිය වෙළෙඳ ලකුණ උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට නයිකි සමාගම චෝදනා කරයි.

ලිල් නාස් එක්ස්ගේ නවතම ගීතය වන මොන්ටෙරෝ (Montero) පසුගිය සිකුරාදා (මාර්තු 26) යූ ටියුබ් හි එළිදැක්වීමට සමගාමීව මෙම කළු සහ රතු පැහැති පාවහන් සඳුදා (මාර්තු 29) “මුදා හැරීමට” MSCHF ක්‍රියා කළේය.

රැප් ගායකයා මෙම පාවහන් යුගලක් පැළඳගෙන ස්වර්ගයේ සිට නිරයට රිටකින් පහළට ලිස්සා යන අයුරු මියුසික් වීඩියෝවෙහි නිරූපණය කරනු දැකගත හැකිය.

සපත්තුවේ සටහන් ‘ලූක් 10: 18’ බයිබලයේ සඳහන් වැකියකි. “ඉතින් ඔහු ඔවුන්ට කිව්වා, ‘ස්වර්ගයෙන් ආ අකුණක් මෙන් සාතන් වැටුණ බව මම දුටුවා කියා,” එහි සඳහන් වේ.

සෑම සාතන් පාවහන් යුගලකම, නයිකි නිර්මාණවලට විශේෂිත වායු බුබුළු සහ ‘කුෂන්’ සහිත පතුලට රතු තීන්ත ඝන සෙන්ටිමීටර 60 ක් සහ මිනිස් රුධිර බිංදුවක් අඩංගු වේ. ඊට එම රුධිරය පරිත්‍යාග කර තිබෙන්නේ කලා සමූහයේ සාමාජිකයින් විසිනි.

මෙම විශේෂ සාතන් පාවහන් සඳහා අවසර දී හෝ අනුමත කර නොමැති බව ක්‍රීඩා සපත්තු දැවැන්තයෙකු වන නයිකි සමාගම නිව්යෝර්ක් හි නැගෙනහිර දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කළ නඩුවක සඳහන් කර ඇත.

MSCHF මෙම පාවහන් අලෙවිකිරීම නවත්වන ලෙසත් එහි සුප්‍රසිද්ධ ‘ස්වෝෂ්’ (නයිකි) මෝස්තර සලකුණ භාවිත කිරීම වලක්වන ලෙසත් නයිකි සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටියි.

“MSCHF සහ එහි අනවසර සාතන් සපත්තු නිසා ව්‍යාකූලත්වයක් සහ බාල කිරීමකට හේතු වන අතර MSCHF හි නිෂ්පාදන සහ නයිකි අතර වැරදි සම්බන්ධතාවක් ඇති කරනවා” යැයි නයිකි සමාගම සිය නඩුවෙහි සඳහන් කර ඇත.

“ඇත්ත වශයෙන්ම, දැනටමත් වෙළෙඳපොල තුළ සැලකිය යුතු ව්‍යාකූලත්වයක් සහ බාලවීමක් සිදුව ඇති බවට සාක්ෂි තිබෙනවා. MSCHF හි සාතන් සපත්තු එළිදැක්වීමට ප්‍රතිචාර වශයෙන්, නයිකි සමාගම මෙම නිෂ්පාදනයට අවසර දී හෝ අනුමත කර ඇති බවට ඇති වැරදි මතයක් සමග, නයිකි වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීමක් දකින්න පුළුවන්.”

සමාජ මාධ්‍ය ජාලවල පාවහන් සඳහා ජනප්‍රිය (influencer) @Saint පසුගිය සිකුරාදා මෙම සාතන් සපත්තු කුට්ටම එළිදැක්වීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩක් නිකුත් කළ බව අදාළ නඩුවේ සඳහන් වේ. එමෙන්ම, සති අන්තයේ දී සමාජ මාධ්‍යවල සහ එක්සත් ජනපදයේ මාධ්‍යවල ද මෙම පාවහන් යුගල ගැන ප්‍රචාරය විය.

දකුණු ඩැකෝටාහි ආණ්ඩුකාර ක්‍රිස්ටි නොයෙම් වැනි ඇතැම් ගතානුගතිකයින් මෙන්ම ඇතැම් ආගමික අනුගාමිකයෝ, මෙම මතභේදාත්මක පාවහන් නිර්මාණය සම්බන්ධයෙන් සිය අමනාපය පළ කර තිබූ අතර, ලිල් නාස් එක්ස් සහ MSCHF ට්විටර් ඔස්සේ විවේචනය කළහ.

ලිල් නාස් එක්ස් ට්විටර් ඔස්සේ ආණ්ඩුකාරවරියට සහ අනෙකුත් විවේචකයින්ට ප්‍රතිචාර දක්වා තිබුණු අතර, සඳුදා දින (මාර්තු 29) නයිකි නඩුව පිළිබඳ පුවතට ප්‍රතිචාර වශයෙන් ‘මීම්ස්’ කීපයක් පළ කර තිබිණි.

Text by – bbc