චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය
Spread the love

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. අද අපි නලින්වාදයේ කොඳු නාරටිය කැඩුවෙමු. මින් ඉදිරියට ඔහුගේ සෙල්ලම් පිස්තෝලයට කිසිකෙනෙකු බිය විය යුතු නැත. 

ඔබට මවක සිටී. ඔබ ඇයට  පවසන්නේ “අම්මා”  කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය.

හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව පෙන්වා මේ කවුදැයි ඔබෙන් අසයි. එවිට ඔබ “ඒ මගේ අම්මා” යැයි පවසනු ඇත. ඉන්පසු ඔහු ඔබේ සොහොයුරාගෙන්ද ඒ කවුදැයි අසයි. ඔහුද ” මේ අපේ අම්මා”  යැයි පවසනු ඇත.

ස්ථිර වශයෙන්ම මේ ඔබේ මව යයි ඔබ පවසන්නේ කෙසේදැයි නලින්වාදී අමුත්තා ඉන්පසු ප්‍රශ්ණ කරයි. මේ ප්‍රශ්නයෙන් ඔබ මවිතයට පත්වනු ඇත. ඔහුට ඔබ පැවසූ දෙය සනාථ කිරීමට ඇති සාක්ෂි ගැන සිතන ඔබ, ඔබගේ උප්පැන්න සහතිකය පෙන්වා එහි ඇය මාගේ මව යැයි නීත්‍යානූකූලව ලියාපදිංචි කර ඇති බව පවසනු  ඇත.

උප්පැන්න සහතිකය බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට හඳුන්වාදුන් දෙයක් නිසා එය ගැන විශ්වාසය කල නොහැකි බව නලින් වාදියා ඔබට පවසනු ඇත. මෙයින් විමතියට පත්වන ඔබ, ඇය කුඩා කළ මව්කිරී දී ඇති බව මතක ඇති බවත්, ඇය ඔබට කෑම කැවූ බව මතක බවත්, ඔබ මෙන් ඔබගේ සොහොයුරාද, ඥාතීන්ද, අසල්වැසියන්ද ඇය ඔබේ මව යැයි පවසන බවත් කියනු ඇත.

ඉන්පසු ඔබ තවදුරටත් මවිතයට පත්කරමින් එම අමුත්තා ඔබ ඉදිරියේ සිටින තැනැත්තිය ඔබ දෙදෙනාගේ මව යැයි හැඳින්වීම ප්‍රවාදයක් බව පවසයි.

තවදුරටත්, ඔහු ඇය ඔබගේ මව වීමටද, නොවීමටද, වෙමින් නොවීමටද, නොවෙමින් වීමටද ඉඩ ඇති බව පවසයි. ඒ එසේ වන්නේ ඇය කුඩා කළ මව්කිරී දී ඇති මතකය, ඇය ඔබට කෑම කැවූ බව මතකය, ඔබමෙන් ඔබගේ සොහොයුරාද, ඥාතීන්ද, අසල්වැසියන්ද ඇය ඔබේ මව බව පැවසීම සම්මුති මිස සැබෑ සත්‍යයන් නොවන නිසා බව ඔහු පවසනු ඇත. ඒවා සාපේක්ෂ සත්‍යයන්  බවත් ඇත්ත වශයෙන්ම ඔබගේ මව ඔබගේ මව වීමටද, නොවීමටද, වෙමින් නොවීමටද,නොවෙමින් වීමටද ඇත්තේ යම් ඉඩකඩක් පමණක් බවත්, ඔහු ඔබට පවසනු ඇත. ඒ එසේ වන්නේ ඔබ ඇය ඔබගේ මව ලෙස හඳුනාගැනීමට භාවිතාකල ක්‍රමයන් සැබෑ සත්‍යයන් නොවන නිසා යි නලින්වාදියා පවසනු ඇත.

නලීන්වාදයේ ඇති චතුස්කෝටික තර්කයේ හරය මෙයයි. තේරුම් ගැනීමට අපහසු මෙම අප්‍රබංශ තර්කයේ පදනමද එයයි. ඔබ මෙය පවසන ඔබේ නිවසට ආ මේ තැනැත්තා උන්මත්තකයකු ලෙස නොසලකන්නේද? මෙම මනස්ගාත චතුස්කෝටික තර්කය තොරතෝංචියක් නැතිව එය නැවත නැවත කිවහොත් ඔබ සහ ඔබේ සොහොයුරා ඒ නලින්වාදියාට කුමක් කරනු ඇත්ද? ඔහු නිවසින් පන්නන්නේ නැද්ද? 

පන්නා දැමූ නලින්වාදියා එතැනින් නොනැවතී නිවසින් එළියට පැන ඔබ ඔබේ මව යයි පවසන තැනැත්තා ඇත්ත වශයෙන්ම “මගේ අම්මා”  බව පවසනු ඇත. මේ නලීන්වාදීන්ගේ අනෙක් තර්ක ක්‍රමයයි. එම තර්ක ක්‍රමයට අනුව ඔබ ඔබේ මවට මව යයි කියා හඳුන්වන සත්‍යයක් වීමේ හැකියාව තරමටම ඔහු ඔබේ මවට මව යයි කීමේ සත්‍යතාවයටද  හැකියාවක් තිබේ . ඔබේ මව, ඔබේ මව වීමට මෙන්ම ඔහුගේ මව වීමටද හැකියාවක් ඇත්තේ ඇය ඔබේ මව වීමට මෙන්ම, ඔහුගේ මව වීමටද හැකි බව සනාථ කරන ක්‍රමවේදයන්ගේ විශ්වාසනීයත්වයක් නොමැති නිසාය. ඇය ඔබේ මව වීමත්, ඔහුගේ මව වීමත්  යන සංකල්පයන් දෙකම එකවිට සත්‍යයන් විය හැකි අතර, එය එසේ වන්නේ ඔබ ඔබේ මව යයි ඔබ හඳුනාගත් ක්‍රමවේදයන් වන උප්පැන්න සහතිකය, කිරි බීම, මව ඔබට කැවීම, ඔබගේ සොහොයුරා හා අසල්වාසීන් ඒ ඔබේ මව යයි පැවසීම සාපේක්ෂ සත්‍යයන් වන නිසාය. සම්මුතීන් පමණක් වන නිසාය. ඇතැම් විට ප්‍රවාද විය හැකි නිසාය.

අප ඔබට තේරෙන භාෂාවෙන් මෙම තර්කන ක්‍රම ඉදිරිපත් කලෙමු. මෙම තර්කන ක්‍රම දෙක නලින් වාදයේ පදනමයි. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ඔහුගේ පොත් වල නැවත නැවත, පුන පුනා, විවිධ අයුරින්, පවසන්නේ මෙම තර්කන ක්‍රම දෙකය.

මෙය ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ක්ෂුද්‍ර අංශු  වල හැසිරීම විස්තර කිරීමට භාවිතා කෙරණ ක්‍රමයකි. නලින් ද සිල්වා මැතිතුමා ඔහුගේ මුලික ප්‍රකාශනය වන “මගේ ලෝකය” පොතෙහි . “බුදුන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල මේ චතුස්කෝටික තර්කය යොදාගෙන ඇති බැවින් බෞද්ධයන්ට ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි යෙදන තර්කය නුහුරු දෙයක් විය නොහැකිය” යැයි  සඳහන් කරයි.

එසේ මෙම තර්ක ක්‍රමය බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි වංචනික ලෙස පවසමින්, ඔහු ඔහුගේ මතයට බෞද්ධයන් ආකර්ෂණය කරගනියි. ඉන්පසුව ක්ෂුද්‍ර අංශු වල චලනය විස්තර කරන මෙම තර්ක ක්‍රමය සංකීර්ණ  ගැටළු විග්‍රහ කිරීමට ඔහු පාවිච්චි කරයි. නලින්වාදීන් ක්ෂුද්‍ර අංශු වල චලන රටාවෙන් සියලු මානුශීය,සමාජීය, විද්‍යාත්මක,වෛද්‍ය විද්‍යාත්මක,  හා සංස්කෘතික හා හැසිරීම් රටාවන් විස්තර කිරීමට තැත් කරයි. මෙම තැත නලින්වාදීන්ගේ ළදරු මානසිකත්වය හෙළිකරන විගඩමකි. මෙය කුඩා ළමයෙකු කුරුම්බැට්ටි මැසිමකින් කලිසමක් මැසීමට තැත් කිරීමකට සමානය. 

ඔහු පවසන තර්කන ක්‍රමය, ඔහු ඉදිරිපත් කරන විලාශය හා ලියා ඇති භාෂාවෙහි වියවුල් බව නිසා බොහෝ දෙනෙකුට නොතේරෙයි. එනිසා එම තර්කය නොතේරෙන අය මෙය සොයාගත් උතුමා මහා ප්‍රාඥයෙක් යැයි සිතයි. එසේම එය බුදුන් වන්හන්සේ පවසා ඇතැයි නලින් ද සිල්වා නම් සිංහල බෞද්ධ පඬිතුමා දේශනා කරන නිසා “සැදැහැවත්” බෞද්ධයන් එය සාධුකාර දී පිළිගනී. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බව දන්නා උගතුන් “මෙවන් පිස්සන්ට පිළිතුරු දී කාලය නාස්ති කල යුතු නැත” යි සිතා නිහඬව සිටී. එමනිසා දශක තුනකට අධික කාලයක් මෙම මනස්ගාත තර්ක ක්‍රමයේ එල්ලී සිටීමට රටක් නොමග යැවීමට ඔහුට හැකි විය.  

මෙම තර්ක ක්‍රමය බුද්ධ වචනයේ හෝ ත්‍රිපිටකයේ කොතැනක සඳහන්වී ඇත්දැයි නොකීමට තරම් නලින් මැතිතුමා කපටි, තම අනුගාමිකයන්ද නොමඟ යවන වංචනික දාර්ශනිකයෙක් වේ. බුදුරජණන් වහන්සේගේ සමයෙහි අබෞද්ධයන් අතර පැවති මෙම චතුස්කෝටික තර්ක ක්‍රමය උන්වහන්සේ ත්‍රිපිටකයේ කොතනැකවත් අනුදැන නොමැත. එපමණක් නොව සූත්‍ර දේශනා කිහිපයකම බුදුරජාණන් වහන්සේ මෙම තර්ක ක්‍රමය එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත.

සංයුක්ත නිකායේ, සලායතන වග්ගයේ, අව්‍යාකත සංයුත්තයේ, ඛේම සූත්‍රය, අනුරාධ සුත්‍රය, උපගත සූත්‍රය, සමුදය සුත්‍රය, පේම සුත්‍රය මේ පිළිබඳව උදාහරණ කිහිපයකි. ඉන් එකක් වන ඛේම සූත්‍රයහි  බුදුරජාණන් වහන්සේ චතුස්කෝටික තර්කය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසයි.  “එහෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි. නොවන්නේ නෙවෙයි කියා කීමටද නුසුදුසුයි.

“මෙසේ කියමින් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කල මෙම ප්‍රශ්න ඇසීමේ කලාව, නලින් ද සිල්වා මැතිතුමා උන්වහන්සේ පැවසුවේයැයි සඳහන් කරයි. මෙම තර්ක ක්‍රමයට වරක් ප්‍රශ්න ඇසුවේ බුදුසසුනෙහි ප්‍රධාන දායකයෙකු වූ කොසොල් රජතුමායි. තවත් වරක පරිබ්‍රාජකයන් සමූහයකි. ඒ හැරුනුකොට රහතන් වහන්සේලා අතර ඇතිවූ සාකච්ඡාවකදී එය මතුවිය.

මේ සියලු අවස්ථාවලදී මෙම තර්කය ප්‍රතික්ක්‍ෂේප වී ඇත. මෙම තර්ක ක්‍රමය ත්‍රිපිටකයේ හෝ බුද්ධ භාෂිතයේ පිළිගෙන නොමැති බව අප දැන සිටියෙමු. එනමුත් අප ඒ බව මෙම ලිපිය ලිවීමට පෙර, ත්‍රිපිටකය හා බුදුවදන ගැන පිළිබඳව හසල දැනුමක් හා සුදුසුකම් ඇති ගිහි, පැවිදි උගතුන් රැසක ගෙන් සැකහැර දැනගතිමු.

බුදුරජානන්වහන්සේ එකහෙලා ප්‍රතික්ෂේප කල මෙම නලින්වාදී තර්ක ක්‍රමයේ භයානක කම කුමක්ද? මෙම ක්‍රමය අනුව අම්මා හඳුනා ගැනීමට නොහැකිව ඔබ හා ඔබේ සොයුරා වල්මත් වන්නා සේම, ඔබේ අම්මා ඔබේ අම්මාද, නලින් වාදියාගේ අම්මාද යන්න සොයා ගත නොහැකිව මනස අවුල් කර ගනියි. චතුස්කෝටික තර්ක ක්‍රමයට අනුව ඔබ ඔබගේ මව යයි පවසන තැනැත්තිය මව නොවිය හැකි නිසා, ඇතැම්විට ඇය වෙනයම් අචේතනික වස්තුවක් වීමටද ඉඩ ඇති නිසා ඇය විනාශ කිරීමද පාපයක් නොවනු ඇත. එය ආනන්තරිය පාපකර්මයකට නොනැගෙනු ඇත. එනිසා බුදුදහමට අනුව මෙය අතිශයින්ම භයානක තර්ක ක්‍රමයකි. 

මේ අයුරින් පිළිගත් යම් සත්‍යයක් අසත්‍යයක් විය හැකි යැයි පැවසීම නිසා, සත්‍යය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටේ. සත්‍යය දැනගැනීමේ ක්‍රමවේදයන්  අසත්‍යයන් විය හැකි යැයි පැවසීම නිසා, සත්‍යය දැනගැනීමට ක්‍රමයක් නොමැතිව සමාජය නන්නත්තාර වේ. එසේම එකම කරුණක් අරඹයා සත්‍යයන් කිහිපයක් පැවතිය හැකි යැයි පැවසීමද මහා ව්‍යසනයකට මුල පුරයි. එය එසේ වන්නේ යම් කරුණක් ගැන පෘතුල දැනුමක් ඇති, උගත්කමක් ඇති, පුහුණුවක් ඇති කෙනකු පවසන දේ හා  සමානවම දැනුමක් නැති, පුහුණුවක් නැති, උගත්කමක් නැති කෙනකු පවසන දෙයද සත්‍යය විය හැකි බවට විශ්වාස කිරීමයි.

ඹෟෂධ විශ්ලේෂකයන් සොයාගන්නා ඖෂධයක් හා වඩු මහතකු සොයාගන්නා ඖෂධයක් අතර වෙනසක් නොමැති බවට  නලින්වාදීන්  තර්ක කරන්නේ මේ පදනමේ සිටයි. මුළු මහත් සමාජයක්  මෙම තර්කයේ එල්ලී ගතවිට සත්‍යයෙන් අසත්‍යය තෝරාගැනීමට නොහැකිව එම සමාජය පසුගාමී වෙයි.

නලින්වාදී මෙම මතය අද ලංකාවේ ප්‍රචලිතවී, සමාජයේ වැදගත් කොටසක්  සත්‍යයෙන් අසත්‍යය තෝරා ගැනීමට නොහැකිව, මනස අවුල්කරගෙන ඇත. එවන් මතවාදයක් මුල්බැසගත් සමාජය ඔල්මොරෙන්දම් මානසිකතත්වක්  හිස දරා ඉබාගාතේ යන පිරිසක් බවට පත්වේ. අද ලංකාවට වී ඇත්තේ මෙම ප්‍රශ්ණයයි. 

දැන් යන්තම් තුන් සූත්‍රය දන්නා අය, පටිච්ච සමුප්පාද විවරණය ගැන ග්‍රන්ථ ප්‍රකාශ කිරීමට පසුබට නොවේ. පත පොතින්, පුහුණුවෙන් හෝ සුදුසුකමකින් විෂයයන් ගැන දැනුම් ලබා නොමැති අය ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍රයන් ගැන පඬිවදන් පවසයි. කිසිදු සාක්ෂියක් මත පදනම් නොවී, නව මත පහල වෙයි.

මේ අයට දැනුම හදිසියේ පහල වෙයි. විශ්වාස කල නොහැකි විවිධ සිද්ධීන් සිදුවේ. කිසිදු දැනුමක් පත පොතින්, පුහුණුවෙන් හෝ සුදුසුකමකින් ලබා නැති නුගතුන්, විවිධ දේ ගැන පොත් ලියයි. සම්මුඛ සාකච්ඡා පවත්වයි.වොයිස්කට් දෙයි. මිනිසුන් මේ සියල්ලම කියවයි, බලයි. සත්‍යයෙන් අසත්‍යය තෝරා ගැනීමේ මිනුම් දඬු හා සාක්ෂි විශ්වාශ කල නොහැකි යැයි නලින්වාදීන් පවසන නිසා මේ සියල්ලන්ම නිවැරදි විය හැකි යැයි මිනිසුන් සිතයි. විවිධ මත පළකරන්නන් ගෙන් කවුරුන් හරිද කවුරුන් වැරදිද යන්න සොයා ගැනීමට නොහැකිව ඔවුන් අතරමං වෙයි. අවසානයේදී  වැඩියෙන්ම ඝෝෂා කරන්නා නිවැරදි යැයි මිනිසුන් තීරණය කරයි. මේ නලින්වාදය විසින් අවුල් කරන ලද සමාජයක ලක්ෂණයි. 

අද නලින් ද සිල්වා මැතිතුමා පසුපස යන හිතවත් අනුගාමිකයන් ඇත්තේ අතලොස්සකි. එනමුත් දශක තුනක් තිස්සේ එතුමා “ජාතික චින්තනය” යයි නම්කොට ශ්‍රී ලාංකික සමාජය තුලට  එකතු කරන ලද හලාහල විස  මේ වන විට ලාංකික සමාජ දේහය තුල නිධන්ගත වී  තිබේ. වෛද්‍ය වරුන් වන අප රෝගීන්ගේ සිරුරෙන් විස ඉවත් කිරීම ගැන යම් පුහුණුවක් ලබා ඇතිමුත්, සමාජයකින් විස ඉවත් කිරීමට පුහුණුවී නැත. එනිසා බුදුදහමට හා සැබෑ ජාතික චින්තනයට මුවාවී, කරන ලද මෙම ප්‍රෝඩාව ලාංකික සමාජයට, විශේෂයෙන්ම බෞද්ධයන්ට ඒත්තු ගන්වා විස ඉවත් කිරීම ඔබගේත් යුතු කමයි. නලින්වාදීන්, ත්‍රිපිඨකය, බුද්ධ භාෂිතය විකෘති කර ඇතිවා පමණක් නොව එය හෑල්ලුවටද  ලක් කොට ඇත. මෙය සංඝයා වහන්සේලාගේ  හා සැබෑ බෞද්ධයන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

ක්ෂුද්‍ර අංශු චතුෂ්කෝටික ක්‍රමයට චලනය වුවත්,නැතත් අපට ප්‍රශ්නයක් නැත. අපට ඇති පළමු ප්‍රශ්නය එය බුදුවදනක් යැයි මුසා බස් පැවසීමයි. දෙවනුව ක්ෂුද්‍ර අංශු වල චලන රටාවෙන් සියලු මානුශීය, විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක, සමාජීය හා සංස්කෘතික සංසිද්ධීන් විග්‍රහ කිරීමට තැත් කිරීමයි. නලින්වාදී රොත්තට අප යෝජනා කරන්නේ සමාජය නොමග නොයවා නැවත පරීක්ෂණාගාරයට ගොස්, දොරගුළුලා ගෙන, ක්ෂුද්‍ර අංශුවල චලනය දෙස බලමින් කල් මරන ලෙසයි.මෙම පරීක්ෂණාගාරය තුල පැලෙන කෙස් ඉවත් කිරීමට විශේෂ පවිත්‍රතා සේවයක් යෙදවීමට සිදුවනු නියතය.

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. අද අපි නලින්වාදයේ කොඳු නාරටිය කැඩුවෙමු. මින් ඉදිරියට ඔහුගේ සෙල්ලම් පිස්තෝලයට කිසිකෙනෙකු බිය විය යුතු නැත. 

(අප නලින්වාදයේ අක්මුල් සිඳ බිඳ දැමීමට ලියන මෙම ලිපි පෙළ ලිපි දහයකට සීමා කරන්නෙමු. මෙම ලිපි කියවන ඔබ අප ඉස්මතු කරණ කරුණු වල හරය වටහා ගෙන නලින්වාදයේ සලකුණක් හෝ දුටු තැන එයට නොබියවමතවාදීව පහර දීමට නොපැකිලෙන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට ලාංකික සමාජය රැගෙන යාමට අදිටන් කර ඇති අපඅපගේ ඊළඟ පියවරෙන් ඔබ හමුවට එන්නෙමු )

  • විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
  • විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
  • විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර