බිස්කට් හා බේකරිවල අවශ්‍යතා සදහා පාම් තෙල් ආනයනයට අවසර

බිස්කට් හා බේකරිවල අවශ්‍යතා සදහා පාම් තෙල් ආනයනයට අවසර
Spread the love

ශ‍්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද බිස්කට් කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07* පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෙළෙඳ ඇමැතිවරයා ‘‘මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකියි.පාම් තෙල් ආනයනය තහනම් කිරීමේ අරමුණ වන්නේ පාම් තෙල් ආනයනය හරහා විදේශ වෙත ඇදී යන විදේශ විනිමය අවම කර ගැනීමයි. මේ සමග දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරනවා’ යැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර ජනතාව මේ තීරණය දෙස හාස්‍යයෙන් මෙන්ම දැඩි විරෝධාකල්පයකින් බලන බවක් ද නිරීක්ෂණය කළ හැකිය. පාම් තෙල් තහනම නිසා මේ වන විට දරාගත නොහැකි මිලක තිබෙන පොල් තෙල් මිල ද තව දුරටත් ඉහළ යා හැකි බවයි. විශේෂයෙන් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන පොල් තෙල් අධික මිලක් ගෙවා ලබාගැනීමට සිදුවීම තමන් කබලෙන් ලිපට වැටීමක් බව ඔවුන්ගේ් අදහසයි.

‘ආණ්ඩුවට මේ උපදෙස් දෙන්නේ කේවට්ටයො ද කියලා අපි දන්නෑ. විදේශ විනිමය ඉතිරි කර ගන්න කියලා මුංඇට, කහ තහනම් කළා. දැන් ඒවා අහස උසට ගණන් ගිහින්. මේ අවුරුදු කාලේ මුංඇට, තෙල්තෙල්, උඳු අත්‍යවශ්‍ය දේවල්. ඒත් දැන් ඒවා මිලදී ගැනීම හීනයක්’ යැයි අප සමග අදහස් දක්වමින් කඩවත විශ‍්‍රාමික ගුරුවරියක් පැවසුවාය.