ශ්‍රී ලංකාවට නිර්දේශ කළ යුතු ‘Covid-19 පාලනය කළ හැකි ප්‍රතිදේහ ගැන’ අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවට නිර්දේශ කළ යුතු ‘Covid-19 පාලනය කළ හැකි ප්‍රතිදේහ ගැන’ අධ්‍යයනයක්

ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් විසින් සංවර්ධනය කරන ලද අඩු වියදමකින් ඉක්මන් තොරතුරු සපයාගත හැකි නව පරීක්‍ෂණ කට්ටලයක් කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේ නවතම උපකරණය වියහැකි තත්ත්වයක් දක්නට ලැබෙයි.

කෝවිඩ්-19 වෛරසයට හේතුවෙන නව කොරෝනා වෛරස් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිදේහ (antibodies) සඳහා අඩු පිරිවැයක් සහිත එසේම නිෂ්පාදනය කිරීම අතින් පහසු මෙන්ම අතේ ගෙනයාහැකි පරීක්‍ෂණ උපකරණයක් තමන් විසින් නිර්මාණය කරනු ලැබ ඇතැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර පර්යේෂණ කණඩායමක් සඳහන් කරයි.

Loading...

“සිරුරේ ප්‍රතිදේහ මට්ටම් සහ පුද්ගලයන්ගේ මෙන්ම ජනගහනයේ ප්‍රතිශක්ති සුරක්ෂිතභාවයට හොඳම ආකාරයන් පිරික්සීම මගින් වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීම සහ ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් මෙම උවදුරෙන් ආරක්ෂාකර ගනු ලැබීමට ගතයුතු ක්‍රියාමාර්ග අතින් අපි පියවර කීපයක් ඉදිරියට ගොස් සිටිනවා,” ඔක්ස්ෆර්ඩ් සරසවියේ MRC මානව ප්‍රතිශක්ති විද්‍යාංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ඇලිසන් සිමොන්ස් (Professor Alison Simmons) පවසයි.

කෝවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාව සලසා ඇති පුද්ගලයන්ගෙන් ප්‍රතිදේහ යළි බලගැන්වීම අවශ්‍ය කරන තැනැත්තන් හඳුනාගැනීමට හැකිවේද යන්න පිරික්සීම සඳහා මෙම අතිසරල පරීක්ෂණය උපයෝගීකර ගැනීම විද්‍යාඥයන්ගේ දැන් සැලැස්මයි.

අදාළ අත්හදා බැලීම් සංවර්ධනය කෙරෙමින් පවතින අතර බාහිර පරීක්ෂණ සඳහා තවමත් යොදාගනු ලැබ නැත.

ප්‍රතිදේහ යනු මොනවාද?

ප්‍රතිදේහ (Antibodies) යනු සිරුරේ අඅන්තර්ගත ප්‍රෝටීන් විශේෂයක් වන අතර ඒවා සුවිශේෂී ආසාදනයන් හඳුනාගනිමින් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙයි.

Computer generate image of Covid-19 antibodies

යම්කිසි ආසාදනයකට ගොදුරු වූ පුද්ගලයකු පසුකලක එම ආසාදනයට යළිත් ගොදුරු වුවහොත් ඊට ඔරොත්තු දීම සඳහා එම පුද්ගලයාගේ සිරුර සූදානමින් තැබීමක් ප්‍රතිදේහ මගින් සිදුකෙරෙයි. ව්‍යාධිගත වීමකින් තොරව ප්‍රතිදේහ නිර්මාණය කිරීමේ සුරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් එන්නත් මගින් සම්පාදනය කරනු ලබයි.

ඒ අනුව, යම්කිසි තැනැත්තකු කොවිඩ්-19 වෛරසයට ගොදුරුවී සුවය ලැබ ඔහුගේ රුධිරයෙහි ඉහත සඳහන් කරන ලද ප්‍රතිදේහ අන්තර්ගතවන්නේ නම්, එම තැනැත්තා නැවත වතාවක් කොරෝනා වසංගතයට ගොදුරු නොවී ආරක්ෂාවීමේ හැකියාවක් පවතී.

කෙසේවුවද, විද්‍යාඥයන් පවසන්නේ මෙය සනාථ කිරීමට තවත් පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය බවය.

සිරුරේ ප්‍රතිශක්ති රටාව සංකීර්ණ වූවකි. T-සෛල වැනි වෙනත් මූල ද්‍රව්‍යයන් ද ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමයේ දී කාර්යභාරයක් ඉටුකරනවා විය හැකිය.

ඔක්ස්ෆර්ඩ් ප්‍රතිදේහ පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

එම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ පුද්ගලයකුගේ ඇඟිලි තුඩකින් රුධිර සාම්පලයක් ලබා ගැනීමෙනි. එය ඉක්මන් සහ පහසුය.

A phlebotomist takes blood through a finger prick during a no-cost Covid-19 antibody testing organized by the GuardHeart Foundation and the City of Pico Rivera on February 17, 2021 in Pico Rivera, California.
ඇඟිලි තුඩකින් රුධිරය රැගෙන ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ වෙනත් පරීක්‍ෂණ ක්‍රමත් අද ලෝකයේ භාවිතයට ගැනෙමින් ඇත

මෙම පරීක්‍ෂණය පදනම් වන්නේ රතු රුධිර සෛල මතුපිට වෛරස් අඩංගු ප්‍රෝටීනයක් සම්බන්ධ කිරීමෙනි. වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ක්‍රියාත්මක වෙනවිට රතුරුධිර සෛල කැටියක් නිර්මාණය වෙයි.

එම රුධිර සෛල කැටිය පියවි ඇසෙකින් දැකිය හැකි තරම්ය.

“මෙය ඉතාම සරල පරීක්‍ෂණයක්. පුහුණු තාක්ෂණවේදියකුට හෝ අතුරු වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයකුට වුනත් මෙය කරන්න පුළුවන්,” ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව ප්‍රතිශක්ති විද්‍යා ඒකකයේ කෙරුණු අධ්‍යයනයට නායකත්වය දුන් මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ් (Alain Townsend) බීබීසී වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

අනතුරුව ඡායාරූපගත කෙරුණ පරීක්‍ෂණ ප්‍රතිඵල විද්වත් තක්සේරුකිරීමක් සඳහා යොමුකළ හැකිය.

කෝවිඩ්-19 ආසාදිත රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණ මාලාවකින් පසු පර්යේෂක කණ්ඩායමේ දැන් බලාපොරොත්තුව එන්නත් කරනු ලැබීමෙන් අනතුරුව ප්‍රමාණවත් ප්‍රතිදේහ සාර්ථක මට්ටමින් ප්‍රදර්ශනය කරනු ලබන පුද්ගලයන් හඳුනා ගනිමින් ප්‍රතිශක්තිය නංවාලීම අවශ්‍ය විය හැකි පුද්ගලයන් සමඟ සංසන්දනය කිරීමය.

මෙම පරීක්‍ෂණය කොවිඩ්-19 මැඩලීමට උදව්වන්නේ කෙසේද?

ප්‍රජාවේ ප්‍රතිශක්ති සුරක්ෂණ මට්ටම් හඳුනාගැනීමට මෙම පරීක්‍ෂණ මහා පරිමාණයෙන් සිදුකිරීම පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට උදව්වීමට ඉඩකඩ ඇති බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු තබති.

ප්‍රතිදේහ කෙරෙහි අලුත් කොවිඩ් ප්‍රභේදයන්හි බලපෑම පිළිබඳව විද්‍යාඥයන්ට අධීක්‍ෂණය කිරීමට වැඩි අවස්ථා සලසමින් නව ප්‍රභේදයක් හසු වූ විට පර්යේෂණ කණ්ඩායම අප සාකච්ඡාවට ගනු ලබන නව පරීක්ෂණ ක්‍රමය යාවත්කාලීන කරනු ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වීමකින් පසුව මෙන්ම එන්නත් කරනු ලැබීමකින් පසු ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය හඳුනා ගැනීමටත් එමගින් බලාපොරොත්තු වෙයි.

Two women wearing masks

“සිරුරෙහි යහපත් මට්ටමක ප්‍රතිදේහ පැවැත්ම කොවිඩ්-19 වෛරසයට එරෙහිව පොරබැදීමට ආධාරයක්,” බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ සහ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

එන්නත් කරනු ලැබීමෙන් පසු ප්‍රතිදේහ උත්පාදනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණයන්හි දෙවෙනි අදියර සඳහා මහාචාර්ය මලවිගේ නායකත්වය දෙන්නීය.

“විවිධ ස්වභාවයේ ප්‍රතිදේහ විශාල සංඛ්‍යාවක් තිබෙනවා,” මහාචාර්යවරිය සඳහන් කළාය.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාවට නිර්දේශ කළයුතු වන්නේ කුමන වර්ගයක ප්‍රතිදේහදැයි වටහා ගැනීමට ස්වේච්ඡා කණ්ඩායමක් යොදාගනිමින් අප ප්‍රතිදේහ පිළිබඳව අධ්‍යයනයක නිරතවෙමින් සිටිනවා,” යැයි මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය.

“සමහර ප්‍රතිදේහ අපේ ආරක්‍ෂාවට ඉදිරිපත්වෙන නමුත් තවත් ප්‍රතිදේහ වර්ගවලින් එවැනි මෙහෙයක් නැහැ. සමහර ප්‍රතිදේහ සිරුරේ පවතිනවා පමණයි. අපේ උත්සාහය වී තිබෙන්නේ කොවිඩ්-19 වෛරසයෙන් අපි ආරක්ෂා කරන්නේ කිනම් ප්‍රතිදේහ මගින්දැයි වටහා ගැනීම. විවිධ කොරෝනා වෛරස් වර්ගයන්ට ප්‍රතිචාර දක්වන ප්‍රතිශක්ති ක්‍රියාවලිය ගැනත් අපි විපරම් කරනවා.”

ප්‍රතිදේහ පරීක්‍ෂණය අනාවරණය නොකරන කරුණු

බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසන පරිදි යම්කෙනෙකුට කොවිඩ් වෛරසය කලින් ආසාදනය වී තිබේද යන්න ප්‍රතිදේහ පරීක්‍ෂණයක් මගින් කිව හැකිය. ඒ අතරම වෛරසය ආසාදිත ඇතමුන් තුළ ප්‍රතිදේහ දක්නට නැත.

ප්‍රතිදේහ පරීක්‍ෂණයක් මගින් කෙනෙකුට කොවිඩ් වෛරසයට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තිය ඇති බවක් හෝ ආසාදිත පුද්ගලයකු විසින් වෙනත් අයට වෛරසය පැතිරවිය හැකිද නැද්ද යන්න අනාවරණය නොකෙරෙයි.

බොහෝ රෝගීන් ගත්විට ප්‍රතිදේහ පරීක්ෂණයන්හි නිරවද්‍යතාව තවමත් පවතින්නේ අධීක්‍ෂණ මට්ටමෙහිය. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව පැහැදිළි කරන පරිදි ඇතැමුන් ප්‍රතිදේහ සහිත බවට වැරැදි ප්‍රතිඵල ලැබීමට ද අවකාශයක් පවතී.

ආසාදනයක් ඇතිවීමෙන් හෝ එන්නත් කරනු ලැබීමකින් පසු ප්‍රතිදේහ නිර්මාණයට සති කීපයක් ගතවිය හැකිය.

එය තීන්දුවන්නේ පුද්ගලයන් අනුව බව මහාචාර්ය ටවුන්සෙන්ඩ් පවසයි. පොදු වශයෙන් ගත්විට ආසාදනයකින් හෝ එන්නත් කිරීමකින් අනතුරුව සති කීපයක් ඒ සඳහා කාලය ගතවෙයි.

“සමහර පුද්ගලයන් තුළ ප්‍රතිදේහ නිෂ්පාදනය වෙන්නේ අඩු මට්ටමකින්. ඒ අතරම සමහර පුද්ගලයන් තුළ විශාල වශයෙන්. එහෙම වෙන්නේ කොහොමද කියල අපට පූර්ණ දැනුමක් නැහැ,” මහාචාර්ය ටවුන්සෙන්ඩ් පවසයි.

“අපි සියගණනක් පරීක්ෂණ සිදුකරලා තියෙනව. ප්‍රතිදේහ ඉහළම අනුපාතයක් වාර්තා වුණේ ඉතාම සාමාන්‍ය ආබාධයකින් පෙළුන මහලු කාන්තාවකගෙන්. එම කාන්තාව ඇත්තෙන්ම ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිදේහ සහිත කෙනෙක් වුණා.”

වසරක කාලයක් ඇතුළත තවත් ආසදනයකින් ගැලවීමට ප්‍රතිදේහ මගින් රැකවරණයක් සැලසෙන බවට පොදු මතයක් පවතී. එහෙත් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ නිගමනයකට එළඹීම සඳහා තමන්ට තවත් බොහෝ පර්යේෂණ කළ යුතුව ඇති බවය.

තමන් විසින් නිර්මාණය කරන ලද පරීක්‍ෂණ ක්‍රමය සඳහා අවශ්‍ය අනුමැතිය තවමත් ලැබී නැති නමුත් සිය නව නිර්මාණය සම්බන්ධයෙන් එංගලන්තයේ මහජන සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඔක්ස්ෆර්ඩ් සරසවි කණ්ඩායම සැලසුම් කරයි.

බී.බී.සී ඇසුරිණි

Loading...

Post Comment