වරාය නගර පනත සම්මත කර ගන්න ආණ්ඩුවට මේ තරම් තදියමක් ඇයි ? ජවිපෙ නායකයා කරන සුපිරි හෙළිදරව්ව !

වරාය නගර පනත සම්මත කර ගන්න ආණ්ඩුවට මේ තරම් තදියමක් ඇයි ? ජවිපෙ නායකයා කරන සුපිරි හෙළිදරව්ව !
Spread the love

කොළඹ වරාය නගර සංවර්ධන පනතට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වල තීන්දුව ප්‍රකාශ කිරීමටත් පෙර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය තුළින් එහි භයානකකම තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පවසා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය….

“ආණ්ඩුව විසින් පසුගිය අප්‍රෙල් මස 08වැනිදා කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පනත මගින් ලංකාවේ බදු පනත් 07ක් එම ප්‍රදේශයට අදාළ නොවන බවත් තවත් පනත් 14ක් මෙම ප්‍රදේශය තුළ වෙනස් කිරීමට හෝ නිදහස් කිරීම්වලට යටත් බවත් යෝජනා කර තිබුණා. මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වීමේ අනතුරක්ද මේ තුළ තිබුණා. එසේම මෙම ප්‍රදේශය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පරිපාලන ව්‍යූහයකට ඇතුළත් නොවන බවද ප්‍රකාශ වුණා. මෙම ප්‍රදේශය තුළ පදිංචි පුරවැසියන්ට ඡන්ද බලය අහිමි වනවා. මේ සියල්ල වෙනුවට 05-07 අතර පිරිසකගෙන් යුත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ අධිකාරි බලය හිමිවන බව මෙයින් යෝජනා කෙරුණා. එම කෙටුම්පතට අනුව එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවීමටද ඉඩ තිබුණා. මෙම පිරිසෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන බවට ආණ්ඩුව එය සංශෝධන කරන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවටද වාර්තා වුණා. මෙමගින් මෙතරම් අතිශය අහිතකර බලපෑම් සහිත අධිකාරියකට විදේශිකයන්ද ඇතුළත් බව ඉතාම පැහැදිලියි.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මුල් අවස්ථාවේ සිටම ආණ්ඩුවේ යටි අරමුණක් තිබුණා. ඒ මෙම පනත පිළිබඳව සමාජය තුළ විධිමත් සංවාදයකට ඉඩක් නොතැබීමයි. නිදසුනක් ලෙස ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ පසුගිය අප්‍රේල් 08වැනිදායි. ව්‍යවස්ථාව අනුව පනතකට එරෙහිව පුරවැසියෙකුට අධිකරණයට යා හැක්කේ එම දිනයේ සිට සතියක් තුළයි. ඒ අනුව 09වැනි සිකුරාදා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ. 10 සහ 11යන දිනයන් සෙනසුරාදා සහ ඉරිදා වුණා. 12වැනි දින ආණ්ඩුව විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කළා. 13 සහ 14 අලුත් අවුරුදු නිවාඩුව ලෙස පැවතියා. ඒ අනුව මෙම පනතට එරෙහිව අධිකරණයට යා හැකි දිනයක් ලෙස ඉතිරිව තිබුණේ 15වැනිදා පමණයි. ඒ අනුව ආණ්ඩුව මෙම අවුරුදු සමය තුළ නීතිඥයින් ඇතුළු සියලු දෙනා නිවාඩු ලබා තිබියෙදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත්වීම වැළැක්වීමට කූට ලෙස උත්සාහ දැරුවා. නමුත් පක්‍ෂයක් ලෙස අපද ඇතුළත්ව කිහිප දෙනෙක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ එම උත්සාහය පරාජයට පත්කළා.

එම කෙටුම්පතට අදාළ ශේ්්‍රෂ්ඨාධිකරණ තීන්දුව දින 21ක කාලයක් තුළ කථානායකවරයාට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. පසුගිය සිකුරාදා (30) පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව මෙම තීන්දුව 04වැනිදා කථානායකට ලැබෙන බවත් ඒ අනුව 05වැනිදා විවාදයට දින වෙන්කරන බවත් කිවුවා. මෙවැනි වැදගත් පනතක් සඳහා එක් දිනයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා අවම වශයෙන් 05 සහ 06 (බදාදා සහ බ්‍රහස්පතින්දා) දින දෙකක් අවශ්‍ය බව අප විසින් අවධාරණය කළා. නමුත් කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකකට වඩා රැස්කළ නොහැකි බව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැඩිව කියා සිටියා.

අද (04) මේ පිළිබඳ ශේ්්‍රෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෙත ලැබී නැහැ. ඒ අනුව හෙට දිනයේ මේ විවාදය පැවැත්විය නොහැකියි. බොහෝ විට අද (04) සවස පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා 06වැනි බ්‍රහස්පතින්දා මේ පිළිබඳ විවාදය ලබාදීමට ආණ්ඩුව උත්සාහ කළ හැකියි. ආණ්ඩුව විසින්ම දින දෙකකට පාර්ලිමේන්තුව රැස්කිරීමට අදාළව දමාගත් සීමාව අද ආණ්ඩුවට බාධාවක් වී තිබෙනවා. ඒ අනුව බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුව සදාචාරාත්මක අයිතියක් නැහැ. නමුත් ආණ්ඩුව තමන්ගේ වුවමනාකම් වෙනුවෙන් සදාචාරය සම්බන්ධව තැකීමක් නොකරන බව අපි දන්නවා.

ආණ්ඩුවට මෙම වරාය නගරය පනත ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක් යැයි මෙය සම්මත කර ගැනීම හදිස්සි කළ හැකියි. නමුත් අපට මේ සම්බන්ධව වෙනස් මතයක් තිබෙනවා. මෙය විසින් රටේ ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්න මතු කරනු ඇති බවටත් කළු ආර්ථික මධ්‍යස්ථානයක් විය හැකි බවටත් අදහස් තිබෙනවා. අධිකරණයෙන් ලැබෙන්නේ මෙම පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන කරුණ පිළිබඳ තීරණය පමණයි. ඒ නිසා පනත සම්මත කිරීමට පෙර මේ පිළිබඳව ජනතාව සමග පුළුල් සංවාදයක් පැවැත්විය යුතුව තිබෙනවා. පසුගිය 23වැනි දිනත් අප මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් සූදානම් කළා. නමුත් කොවිඩ් තත්වය හමුවේ එය අවලංගු කිරීමට සිදුවුණා. මෙය රටට හිතකර පනතක් නම් ආණ්ඩුවට පනත සම්මත කර ගැනීම විනිවිද පෙනෙන ලෙස කිරීමටත් ජනතාව පුළුල් සංවාදකින් අනතුරුව එය සිදුකිරීමත් කළ හැකියි. නමුත් ආණ්ඩුවේ මෙම සැඟවීම සහ හදිසිය පිටුපස ඇත්තේ මෙම පනතේ භයානකකමයි.

තමන්ගේ ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම රටේ නීතියක් නොවන ජනාධිපතිවරයා දැනගත යුතුයි

උපාලි අබේරත්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පැවති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනවාරි 15වැනි දින කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එහි එක් නිර්දේශයකින් මා ඇතුළු තවත් පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ඉල්ලුවා. මේ සඳහා පදනම් කරගනු ලැබුවේ මීට වසර 40කට පමණ පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක විපක්‍ෂ නායකවරියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාවිච්චි කරන ලද පනතයි.

ඒ අනුව පසුගිය ජනවාරි 29වැනිදා ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 03කුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කළා. ඔහුගේ හදිසිය නිසා බොහෝ විට කරගන්නා පරිදි එයටද සංශෝධනයක් ගෙන ඒමට පෙබරවාරි 05 වැනිදා නැවත ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඔහුටම ගැලපෙන දිනයේ අප්‍රේල් 01වැනිදා එම කොමිෂන් සභාවට අදාළ නැවත සංශෝධනයක් සිදුකළා. මෙමගින් ඔහු මෙම ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටි බව පෙනී යනවා. කෙසේ වුවද අප්‍රේල් 29වැනිදා වන විට මෙම කොමිෂන් සභාවේ කාලය අවසන් වුණා. එහි වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන්නාද? අප දන්නා පරිදි නම් එක් දිනක් හෝ මෙම කොමිෂන් සභාව රැස්වුණේ නැහැ. එයට අපව කැඳෙව්වෙත් නැහැ. ඒ නිසාම එහි වාර්තාවක් තිබෙන්නට විදිහකුත් නැහැ. මේකත් සරත් වීරසේකරගේ වගේම ගෝඨාභය රාජපක්‍ෂගේ පුස් වෙඩිල්ලක්.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා කළ පරිද්දෙන් මෙම පනත උපයෝගී කර ගනිමින් දේශපාලන නායකයින් දඩයම් කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ අරමුණු කරගෙන සිටියා. 20වැනි සංශෝධනයෙන් ලැබුණු බලයත් 2/3 පාර්ලිමේන්තු ජන වරමත් ඒ සඳහා පාවිච්චි කිරීමට ඔහු අපේක්ෂා කළා. මේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම අරමුණු කරගත් කැබිනට් පත්‍රිකාව ගෙන ආ කැබිනට් මණ්ඩලයේ 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්‍ෂත් හිටියා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ඔහු හඬ නැගුවා. ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් අපේ හඬ යටපත් කළ හැකියැයි ඔවුන් සිතනවා විය හැකියි. අපට දේශපාලනය කිරීමට ප්‍රජා අයිතිය නැමති ලයිෂන් එක අවශ්‍ය නැහැ. එයට කළ යුත්තේ කුමක්දැයි අපි මෙයට පෙර කියා තිබෙනවා.

දැන් මෙම විශේෂ ජනාධිපති කොමිසම කල් ඉකුත්වූ කොමිෂන් සභාවක්. එයට කළ හැකි දෙයක් නැහැ. පළවැනි වතාවට ජනාධිපතිවරයෙකු විසින් කිසිවක්ම සිදු නොවූ ස්වයං මරණයක් අත්වූ කොමිසමක් පිහිටවූවා. මෙය ස්ථාපිත කළ මොහොතේම අපි මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පරාජය කරන බව කිවුවා. තමන්ගේ ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම මේ රටේ නීතියක් නොවන බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා දැනගත යුතුයි.