කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය – ‘විශේෂඥයින් තිදෙනෙක්‘ කළ විශේෂ ප්‍රකාශ තුනක්

කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය – ‘විශේෂඥයින් තිදෙනෙක්‘ කළ විශේෂ ප්‍රකාශ තුනක්
Spread the love

ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කර ඇති සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා, ‘‘මේ දිනවල ක්‍රියාත්මක වන සංචරණ සීමාවල ප්‍රතිඵල බලා ගැනීමට හැකිවන්නේ තව සතියක් හෝ දෙකක් ගතවූ පසුවයි. ඒ අනුව සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබදව අපට තීන්දුවක් ගත හැකියි.

පී.සී.ආර් පරීක්ෂණ කරන ක්‍රමවේදය වෙනස් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. නිරෝධායනය වී සිටින අය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු මුදා හැරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම නිසා පී.සී.ආර් පරීක්ෂණ සමාජයේ අවදානම් කණ්ඩායම්වලට යොමු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව කොවිඩ්ව-19 වෛරසය සමාජයේ පැතිර ඇද්දයි එම පරීක්ෂණවල ප්‍රතිඵල මඟින් අදහසක් ලබාගත හැකියි‘‘

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ‘‘මේ දක්වා ලැබී ඇති දත්ත අනුව කොරෝනා රෝගීන්ගේ යම් ආකාරයක අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉදිරි දින කිහිපයේදී සුළු වැඩිවීමක් මිස දිගටම පහළට යෑමට තිබෙන ඉඩකඩ අඩුයි. ඒ අනුව ඉහළ පහළ යෑම් සමග ක්‍රමානුකූලව ආසාදිතයින්ගේ අඩු වීමක් බලාපොරොත්තු වෙනවා. අපිට මේ සංචාරණ සීමා තවත් කාලයක් හැකි පමණ පවත්වාගෙන යෑමෙන් තමයි පැහැදිලි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවේදී සංචරණ සීමා දැඩි කිරීම ඉතාම වැදගත්.” යැයි ද පැවසුවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පවසද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ කොවිඩ් ව්‍යාප්තියේ යම් පාලනයක් දැකගත හැකි බවයි.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා දෙස බැලීමේදී කොවිඩ්-19 ව්‍යාප්තියේ යම් පාලනයක් දැකගත හැකියි. මෙය සිදුවන්නේ සංචරණ සීමා පනවා ඇති තත්ත්වයක් තුළයි. රජය රට තවදුරටත් අගුළු දැමීමට තීරණය කර ඇති මේ අවස්ථාවේදී ජනතාව එහි උපරිම ඵල නෙළා ගත යුතුයි. ඔවුන් නිවැරදි ලෙස සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කළ යුතුයි. ජනතාව එසේ කටයුතු නොකළහොත් තත්ත්වය බරපතළ විය හැකියි‘‘

‘‘